Seo Services

අයි.පී.එල්. ශූරයෝ මුම්බායි ඉන්දියන්ස් - ‘මට දිනන්නම ඕන වුණා’- ලසිත් මාලිංග

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ලසිත් මාලිංගගේ සටන්කාමී අවසන් පන්දුවාරයේ පිහිටෙන් චෙන්නායි කණ්ඩායමට එරෙහිව ලකුණු 1 ක තියුණු ජයක් අත්පත් කරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2019 අයි. පී. එල්. ශූරතාව දිනා ගැනීමට සමත් විය. මුම්බායි කණ්ඩායම අයි. පී. එල්. ශූරතාව දිනා ගත් සිව්වැනි අවස්ථාවද මෙය වේ.

 අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු නවයක් චෙන්නායි කණ්ඩායමට අවශ්‍යව තිබු අතර එහිදී පිති හරඹයේ යෙදී සිටි ෂේන් වොට්සන් සහ ජඬේජාට එය පහසු ඉලක්කයක් විය. පීඩනයේදී පන්දු යැවීමට වැඩි කැමැත්තක් දක්වන ලසිත් මාලිංග තීරණාත්මක පළමු පන්දු පහ ලකුණු අටකට සීමා කරද්දී වොට්සන් දුවද්දී දැවී ගියේය. මාලිංග සිය පළමු පන්දු පහ අවසන් කළේ 1, 1, 2, 1, 2 වශයෙනි. අවසන් පන්දුවට එක් ලකුණක් සම කිරීමට අවශ්‍ය විය. පන්දුවට පහර දෙමින් සිටි සහදුල් තකූර්ට වේගය අඩාල කරමින් යෝකර් පන්දුවක් යැවූ මාලිංග ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය.

 ‘‘මට තරගය දිනන්න ඕන වෙලා තිබුණෙ. අවසන් පන්දුවට තව එක ලකුණක් හරි

 ගැහුව්වනම් සුපිරි පන්දුවාරය ක‍්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා මට අවශ්‍ය වුණා කඩුල්ල ලබා ගන්න හොඳම පන්දුව යවන්න. ’’ මාලිංග සිය වික‍්‍රමයෙන් පසුව පැවසීය. අදාළ පන්දුවාරය යැවීමෙන් පසු මාලිංගව කර මතින් ක‍්‍රීඩාංගණයෙන් එළියට රැගෙන යෑමට මුම්බායි ක‍්‍රීඩකයෝ සමත් වූහ.

 පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ මුම්බායි කණ්ඩායම ලකුණු 149 ක් ලබා ගනිද්දී චෙන්නායි කණ්ඩායමට ජයග‍්‍රහණය හයිද්‍රාබාද් ක‍්‍රීඩාංගණයේදී පහසුවට පෙනුණි. නමුත් ෂේන් වොට්සන් (80) හැරුණු කොට චෙන්නායි පිතිකරුවන්ව දමනය කළ ජස්ප‍්‍රිට් බුම්රා සිය පන්දුවාර හතර ලකුණු 14 කට සීමා කරමින් කඩුලූ 2 ක් දවා ගත්තේය. හාර්දික් පාණ්ඩ්‍යා පන්දුවාර 3 ක් යවමින් ලකුණු 39 කට කඩුල්ලක් දවා ගත්තේය. ‘‘අවසන් පන්දුවාරය යැවීමට පුළුවන් කියන විශ්වාසය මාලිංගට තියෙන බව මම දැන ගත්තා. මාලිංගයි මමයි දෙන්නම අවසන් පන්දුව වේගය අඩාල කරමින් යැවිය යුතු බව තීරණය කළා. ’ යැයි මුම්බායි නායක රෝහිත් ෂර්මා තරගයෙන් පසුව පැවසීය. මාලිංග සිය පන්දුවාර හතර ලකුණු 49 කට අවසන් කරද්දී එක් කඩුල්ලක් දවා ගත්තේය.

 අවසන් තරගයේ වීරයා වශයෙන් ජස්ප‍්‍රිට් බුම්රා සම්මාන දිනු අතර තරගාවලියේ වීරයා සම්මානය ඇන්ඩෘ රසල්ට හිමිවිය. තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ ඬේවිඞ් වෝනර්ටද විශේෂ සම්මානයක් හිමිවිය.
අයි.පී.එල්. ශූරයෝ මුම්බායි ඉන්දියන්ස් - ‘මට දිනන්නම ඕන වුණා’- ලසිත් මාලිංග අයි.පී.එල්. ශූරයෝ මුම්බායි ඉන්දියන්ස් - ‘මට දිනන්නම ඕන වුණා’- ලසිත් මාලිංග Reviewed by CHAA MEDIA on May 14, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.