Seo Services

බිය විය යුතු හා බිය නොවිය යුතු ශාරීරික වෙනස්කම්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
බරපතළ රෝගයක් පිළිබඳව අනතුරු හඟවන ඉඟි කිහිපයක් පිළිබඳව පසුගිය සතියේදී අපි සාකච්ඡා කළෙමු. ඒ ආකාරයේම තවත් නොතකා හැරිය යුතු නොවන ලක්ෂණ කිහිපයක් පිළිබඳවත් ඔබ බරපතළ රෝගයක්දෝයි සැක සිතුවද එසේ නොවන සාමාන්‍ය තත්ත්වයන් කිහිපයක් පිළිබඳවත් තවදුරටත් අපි සාකච්ඡා කරමු.

කල් පවතින හෝ රෑට පමණක් පවතින කැස්ස
කල්පවතින කැස්ස බරපතළ රෝගයක් පිළිබඳව කරන අනතුරු හැඟවීමක් වන අවස්ථා තිබේ. එහෙත් කැස්ස පවතින්නේ රාත්‍රී කාලයේදී පමණක් නම් එය ඇදුම රෝග ලක්ෂණයක් ආකාරයට පවතින්නක් විය හැකියි.
එහෙත් කැස්ස කොතරම් දරුණු ආකාරයට පැවතියද එම කැස්ස සමග සුළු වශයෙන් හෝ රුධිරය පිටවීමක් සිදු නොවිය යුතුය. යම් හෙයකින් එලෙස කැස්ස සමග ස්වල්ප වශයෙන් හෝ රුධිරය පිටවීමක් සිදුවනවා නම් එයද බරපතළ රෝගයක් පිළිබඳව කරන අනතුරු ඇඟවීමක් වන්නට බොහෝ විට හැකියාව තිබේ.

ගිලීමේ අපහසුව
හේතුවකින් තොරව කටහඩේ යම් වෙනසක් ඇතිවී එය දිගටම පවතිනවා නම් වෙනත් කිසිදු අපහසුතාවයක් හෝ වේදනාවක් නැතැයි කියා එය නොතකා හැරිය යුතු නොවන තත්ත්වයකි.
නිතර ආහාර හිරවෙනවා නම් හෝ ගිලීමේ අපහසුවක් පවතිනවා නම් එයද සාමාන්‍ය තත්ත්වයක් නොවන්නට බොහෝවිට ඉඩ තිබේ. විශේෂයෙන් මැදිවියේ අය එබඳු ගිලීමේ අපහසුතාවයන්ගෙන් පෙළෙනවා නම් එය වහාම වෛද්‍ය උපදෙස් පැතිය  යුතු තත්ත්වයක් බව අමතක නොකළ යුතු වේ.

පඩි පෙළක් නගින විට දැනෙන අධික වෙහෙස


පඩි කිහිපයක් නැග්ගද බොහෝ දුරක් ඇවිද ගිය ආකාරයේ දැඩි වෙහෙසකර බවක් දැනෙනවානම් එයද වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකු වඩා සැලකිලිමත්විය යුතු තත්ත්වයකි. කුඩා දරුවෙකු හෝ වැඩිහිටියෙකු මෙබඳු තත්ත්වයකින් පෙළෙනවා නම් එය හදවතේ යම් රෝගී තත්ත්වයන් පිළිබඳව කරන අනතුර ඇඟවීමක් වන්නටද හැකියාව තිබේ.

පපුවේ අසාමාන්‍ය ස්පන්දනය

පපුවේ මැද හෝ වම් පසට වන්නට දැනෙන අසාමාන්‍ය ස්පන්දනය හදවත හා සම්බන්ධ රෝගී තත්ත්වයක් හේතුවෙන්ද ඇතිවිය හැකි නිසා එයද සැලකිලිමත්විය යුතු තත්ත්වයකි.

මුත්‍රා සමග ‍ලේ හෝ මුත්‍රා පෙණ වශයෙන් පිටවීම

පෙණ ආකාරයෙන් පිටවන මුත්‍රා වකුගඩු රෝගී වීමක් පිළිබඳව කරන අනතුරු ඇඟවීමක් වන්නටත් නිතර මුත්‍රා පිටවීම පිළිබඳව කරන ඉඟියක් වන්නටත් හැකියාව තිබේ. එහෙත් මුත්‍රා සමග ‍ලේ පිටවනවා නම් එය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බරපතළ රෝගයක් පිළිබඳව කරන අනතුරු ඇඟවීමක් වන්නට බොහෝ විට ඉඩ තිබේ.

එක් පාදයක මස් ගොබයේ වේදනාව

විශේෂයෙන් දුම් පානය කරන අයෙකුගේ එක් පාදයක මස් ගොබය ඇවිදින විටදී වේදනා ගෙන දෙනවා නම් එය නහරයක් අවහිරවීමක් පිළිබඳව කරන අනතුරු ඇඟවීමක් විය හැකි නිසා එයද වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයකි.

කුස ඉදිරියට නෙරීම

සාමාන්‍ය ශරීරයක් සහිතව ජීවත් වූ අවුරුදු තිහ තිස්පහ වයසේ කාන්තාවකගේ උදරය අස්වාභාවික ආකාරයට ඉදිරියට නෙරා ඒමක් සිදුවේනම් එයද සාමාන්‍ය තත්ත්වය නොවිය හැකිය. ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්වයක් හේතුවෙන්ද මේ ආකාරයේ කුස ඉදිරියට නෙරීමක් සිදුවිය හැකි නිසා එයද වහාම ප්‍රතිකාර කරා යොමු විය යුතු තත්ත්වයක් බව මතක් කළ යුතුවේ.

උදේ අවදිවන විට පවතින හිසරදය

දිවා කාලයේ හට ගන්නා හිසරදයක් මෙන් නොව උදෑසන අවදි වන්නේ හිසරදයක් සමග නම් එය සුළුකොට තැකිය යුතු නොවන්නකි. ඒ ආකාරයට කාලයක් පවතින හිසරදයක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව දැනේ නම් එය වහාම ප්‍රතිකාර කරා යොමුවිය යුතු තත්ත්වයකි.

බරපතළ රෝගයක්දැයි සැක සිතුවද එසේ බිය විය යුතු නොවන ලක්ෂණ

නිතර සෙම පැටලීම
නිතර සෙම පැටලීම බරපතළ රෝගයක පෙර නිමිතිදැයි බිය පළ කරන අය සිටිති. එහෙත් එලෙස සෙම පැටලීම බිය විය යුතු නොවන සාමාන්‍ය තත්ත්වයකි.

පිරිමි දරුවන්ට නින්දේදි ධාතු පිටවීම

වයස අවුරුදු දහසයේ පමණ වූ පිරිමි දරුවන් සම්බන්ධයෙන් නගන ප්‍රශ්නයක් වන්නේ රාත්‍රී නින්දේදි ධාතු පිටවීම රෝගී තත්ත්වයක්ද යන්නය. එහෙත් එය කිසිදු රෝගී තත්ත්වයක් නිසා හෝ බොහෝ අය සිතා සිටින ආකාරයට ‍පෝෂණ ඌනතාවයක් නිසා සිදුවන්නක් නොවේ. එය ශරීරයෙන් පිටවිය යුතු යමක් පිටවී යෑමකි.
එලෙසම බොහෝ අයට පවතින සුලබ ගැටලුවන ආහාරගත් විගස වැසිකිළි යෑමේ අවශ්‍යතාවය, අසූචි කෝපි පැහැයෙන් පිටවීම, කාන්තාවන් නිතර පවසන සුද යෑම, උදෑසන අවදි වූ විට විලුඹ බිම තබන්නට බැරි අපහසුතාවය, දණහිස් සහ උදර ප්‍රදේශයෙන් යම් හඬක් නිකුත්වීම බරපතළ රෝගයක පෙර නිමිතියැයි සමහරුන් සිතුවද එය බිය විය යුතු නොවන සාමාන්‍ය තත්ත්වයක් බව පැවසිය යුතු වේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

උත්පලා සුභාෂිනී ජයසේකර


http://www.lakbima.lk/
බිය විය යුතු හා බිය නොවිය යුතු ශාරීරික වෙනස්කම් බිය විය යුතු හා බිය නොවිය යුතු ශාරීරික වෙනස්කම් Reviewed by CHAA MEDIA on May 16, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.