Seo Services

දරුවන් අතර තිබෙන ප්‍රමුඛම සෞඛ්‍ය ගැටලුව දත් දිරා යාමයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සමහර රෝගාබාධ බලපාන්නේ සමාජයේ එක්තරා කුලකයකට අයත් වූවන්ට පමණි. උදාහරණයක් ලෙස දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, පිළිකා වැනි දේ බලපාන්නේ ඒ ඒ රෝගවලට ගොදුරු වූවන්ටය. නමුත් ‍පොදුවේ සමාජයේ සෑම සියලු දෙනාටම එකසේ බලපාන සෞඛ්‍ය ගැටලුකාරී තත්ත්වයක් ලෙස මුඛය ආශ්‍රිත රෝගාබාධ හැඳින්විය හැකිය.
එසේම මුඛ රෝග ශරීරයේ අනෙකුත් රෝගාබාධවලටද අනිසි ලෙස බලපාන බව බොහෝ දෙනා නොසිතන කාරණාවකි. ‘හොඳට නරකට දෙකට කටමය’  ලෙස එදා පැරැන්නන් කීවේ මුවින් ගිලිහෙන වචන හොඳට හෝ නරකට බලපාන ආකාරය ගැන වුවද මේ වන විට එම කියමනේ අරුත ඊටත් එහාට ගොස් මුඛයේ නිරෝගීකම හෝ රෝගීබව සමස්ත ශරීර සෞඛ්‍ය තත්ත්වයටම හිතකර හෝ අහිතකර ලෙස බලපාන බව සමීක්ෂණ මගින් හෙළිව තිබේ. එබැවින් මුඛයේ නිරෝගී බව මීට වඩා බොහෝ අවධානයෙන් යුතුව සොයාබැලිය යුතු තත්ත්වයක්වේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ගෙනහැර පාන තොරතුරු අප සිටින බැරෑරුම් තත්ත්වයේ පමණ කියා දෙන්නා සේය.
‘දන්ත ව්‍යසනය’ හෙවත් දත් දිරායාම අපේ දරුවන් අතර තිබෙන ප්‍රමුඛම සෞඛ්‍ය ගැටලුවකි. එසේම අපේ රටේ වෙසෙන වැඩිහිටියන්ගෙන් සෑම 10 දෙනකුගෙන් 9 දෙනකුම විදුරුමස් ආශ්‍රිත රෝගවලින් පෙළෙන බව ඇසීමට ලැබිම තවත් සෞඛ්‍ය ගැටලුවකි. පිරිමින් අතර බහුලතම පිළිකා තත්ත්වය වන්නේද මුඛ පිළිකාවය.
දරුවන් අතර පවතින දත් දිරායාමේ තත්ත්වයට ප්‍රබල ලෙස හේතුවී තිබෙන්නේ පිටි, සීනි සහිත ඇලෙන සුළු ආහාර වර්ග බහුල ලෙස පරිභෝජනය කිරීමය. එසේම නිසි පරිදි මුඛය පිරිසිදු කර නොගැනීමද මෙයට හේතුවී තිබේ. දත් දිරායාමේ ලකුණු පහළ වූ වහාම අවශ්‍ය ප්‍රතිකාර කරා යොමුවීමෙන් මේ තත්ත්වය හොඳින් පාලනය කරගත හැකිය. ලංකාවේ ඕනෑම කෙනකුට තමන් පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් 5ක් ඇතුළත රජයේ දන්ත සායනයක් හමුවන තරමට සෞඛ්‍ය අංශ මේ පහසුකම් සලසා තිබේ.
මේ ප්‍රතිකාර නොමි‍ලේ ලබාගත හැකි  අවස්ථා සලසා තිබියදීම දරුවන් මේ තරම් දන්ත රෝගවලට ගොදුරුවීම යනු වැඩිහිටියන් දරුවන් ගැන නිසි අවධානයකින් නොසිටීමම නොවේද? එසේම මේ අවිවේකී ජීවන රටාවන් තුළ මව්වරුන් විසින් දරුවන්ට නුසුදුසු ආහාරපාන ලබාදීමද තවත් ගැටලුවක් වී තිබේ. බොහෝ පාසල් දරුවන් උදය ආහාරය ලෙස ලබාගන්නේ බනිස්, පාන්, පේස්ට්‍රි වැනි පිටි අධික ආහාර වර්ගයන්ය.
මේවා දත්වල ඇලීම, දත් දිරායාමට ප්‍රබල ලෙස හේතුවී තිබේ. පැණි රස ආහාර වර්ග සේම පිටි සහිත මෙවැනි ආහාරද දත්වල තදින් බැඳේ.
එසේම දරුවන් දත් රෝගවලට ගොදුරුවීම, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටද ඉතාම අහිතකර බලපෑම් එල්ල කරන බව වැඩිහිටියන් සිතන්නේ නැත. මුඛ ගැටලු, දත් රෝග ඇති දරුවකුගේ අභිමානයට එය ප්‍රබල බාධාවකි. එසේම නිසි සහ නිවැරදි වචන උච්චාරණයටද එය මග අහුරයි. පාසල් නොයාමටද මෙම කාරණාව ඉතා
සුලබ හේතුවක් වනු ඇත. දත් කැක්කුම පවතින විටෙක අවධානයකින් යුතුව අධ්‍යාපන කටයුතුවල යෙදීමට නොහැකිව දරුවා අසරණ තත්ත්වයට පත් වෙයි.
සමාජය තුළ මුඛ රෝග දත් රෝග වැඩිවීමට පැණි බිම පරිභෝජනය ඉහළ යාමද හේතුවී තිබේ. අධික ලෙස ආම්ලික ගතිවලින් යුතු මේ කෘත්‍රිම පැණි බිම දතේ එනැමලය විඛාදනය වීමට (ගෙවීමට සේම දියවී යාමට) හේතුවෙයි. එබැවින් වෙළෙඳ‍පොළේ ඇති බුබුළු දමන කාබනීකෘත බිම වර්ග මුඛ සෞඛ්‍යයේ පිරිහීමට ප්‍රබල ලෙස හේතුවන බව නොකියාම බැරිය.
පිරිමින් අතර මුඛ පිළිකා තත්ත්වය වැඩිවීමට, බුලත්විට පුවක් වර්ග සැපීම, දුම්පානය, මත්පැන් පානය ප්‍රබලව හේතුවී තිබේ. එසේම කලින් හඳුනා ගැනීමෙන් මෙම තත්ත්වය ඉතා සාර්ථකව පාලනය කර ගත හැකිව තිබියදීත් මුඛ පිළිකාවෙන් මිය යාම ඉතාම අභාග්‍ය සම්පන්න කරුණකි. කටේ දිවේ ලපයක්, කිසියම් වෙනසක් දුටුවිට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සැවොම දැනුවත්විය යුතුය. විශේෂයෙන්ම බුලත්විටේ ඇති දුම්කොළවල පිළිකාකාරක 28ක් අඩංගු වන බව කියැවෙයි. පුවක්වලද පිළිකා කාරක 4ක් පමණ අඩංගුය. ඒ සඳහා භාවිත කරන හුණු අධික භාෂ්මික ගුණයෙන් යුතු නිසා මුඛයේ ශ්‍ලේෂ්මල තැම්බිමකට ලක්වෙයි. එසේ මුඛයේ සම තැම්බි තුවාල වීම ඔස්සේ පිළිකා කාරක ශරීරගතවීම වේගවත් වෙයි.
දත්වලට අහිතකර දේ වලින් ඈත්ව සිටීම සේම නිසි ලෙස දත් මැදීම ගැන දැනුවත්වීමද මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ප්‍රබල ලෙස හේතුවෙයි. කඩල ඇටයක් පමණ ෆ්ලෝරයිඩ් සහිත දන්තා‍ලේප යෙදූ කෙඳි ඇද නොවූ බුරුසුවකින් දවසට දෙවතාවක් දත් මැදීම, සෑම දෙනාම පුරුදු පුහුණු කළ යුතු හොඳ පුරුද්දකි. එසේම උදේ සහ රාත්‍රී ආහාරයෙන් පසු ඒ අවස්ථා පෙළගස්වා ගැනීම වඩාත් නිවැරදිය.

කොළඹ  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක
විශේෂඥ වෛද්‍ය වජිර නානායක්කාර සහ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර යන මහත්වරුන් විසින් කරන ලද
දේශන ඇසුරිනි

සටහන නිර්මලා කුමාරි සේනාරත්න 

http://www.lakbima.lk/

දරුවන් අතර තිබෙන ප්‍රමුඛම සෞඛ්‍ය ගැටලුව දත් දිරා යාමයි දරුවන් අතර තිබෙන ප්‍රමුඛම සෞඛ්‍ය ගැටලුව දත් දිරා යාමයි Reviewed by CHAA MEDIA on May 16, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.