Seo Services

ශ්‍රී ලංකාව ලකුණු 144 කට සීමාවෙයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බි්‍රස්බේන් නුවරදී අද (24 වැනිදා) ආරම්භවූ දිවා-රාත්‍රි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

අනෙක් අන්තයේ පිතිකරුවන් එකිනෙකා දැවීයන විට හුදකලා සටනක නිරතවූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64 ක් රැස්කර සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ කර්ට්ස් පැටර්සන් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 78 කට මුහුණදුන් දික්වැල්ලගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
දුෂ්මන්ත චමීර සමගින් එක්ව නමවැනි කඩුල්ලට ලකුණු 38 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නිරෝෂන් දික්වැල්ල සමත්වූ අතර එම ලකුණු 38 ම දික්වැල්ලගේ පිත්තෙන් වාර්තා විය.
තරග ආරම්භයේ සිට තේ පානය සඳහා තරගය නතර කරනවිට ලකුණු 58 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටි ශ්‍රී ලංකාව තේ පානයේ සිට රාත්‍රි ආහාරය තෙක් කාළය තුල තවත් කඩුලු 5 ක් ලකුණු 64 ක් තුළ අහිමිකර ගත්තේය.
නවසීලන්ත සංචාරයේදී ස්ථානයක් හිමිනොවූ ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියද සාර්ථක පිතිහරඹයක නිරතවීමට අවස්ථාවක් හිමිනොවීය. පන්දු 30 කට පහරදුන් තිරිමාන්න, පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ තෙවැනි ස්ලිප්හී පන්දු රකිමින් සිටි මානස් ලබුස්චේන් අතට උඩපන්දුවක් දෙමින් පළමු කඩුල්ල ලෙසින් දැවීයන විට ඔහු රැස්කර සිටියේ ලකුණු 12 ක් පමණි.
පෙර තරගාවලි වලදී ස්ථීර ස්ථානයක පන්දුවට පහර නොදුන් නායක දිනේෂ් චන්දිමාල් අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසියද ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ජේ රිචඞ්සන් අවස්ථාවක් ලබා නොදුන්නේය.
දෙවැනි ස්ලිප්හී පන්දු රකිමින් සිටි ජෝ බර්න්ස්ට උඩපන්දුවක් ලබාදුන් චන්දිමාල් ලකුණු 5 කට පිටියෙන් ඉවත් විය.
සාර්ථක පිතිහරඹයක නිරතවෙමින් සිටි දිමුත් කරුණාරත්න තේ පානයට සුළු මොහොතකට පෙර පිටියෙන් ඉවත් කිරීමට නේතන් ලයන් සමත්විය. පන්දු 70 කට මුහුණදුන් දිමුත් ලකුණු 24 ක් රැස්කිරීමට සමත්විය.
තේ පානයෙන් පසුව යවන ලද පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී කුසල් මෙන්ඩිස් දවාගැනීමට ජේ රිචඞ්සන් සමත්විය. ලකුණු 14 ක් රැස්කර සිටියදී රිචඞ්සන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මෙන්ඩිස් දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 8 ක් එක්වන විටදී ධනංජය ද සිල්වාද දවාගැනීමට ජේ රිචඞ්සන් සමත්වීමත් සමගින් පිතිකරු ලැයිස්තුවේ අවසන් පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල කඩුල්ලේ රැඳී සිටි රොෂේන් සිල්වා සමගින් එක්විය. රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 25 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ රොෂේන් සිල්වා දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයටද තිත තැබුණි.
රොෂේන් සිල්වා දැවීයාමත් සමගින් සමගින් පන්දුවට පහරදීම සඳහා ඩිල්රුවන් පෙරේරා පිටියට පිවිසියද පැට් කමින්ස්ගේ පන්දුවක් අතේ වැදීමෙන් පිටියෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය. සුරංග ලක්මාල්ගේ දැවීයාමෙන් පසුව නැවත පන්දුවට පහරදීම සඳහා ඩිල්රුවන් පෙරේරා පිටියට පිවිසියද ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට මිචෙල් ස්ටාක් ඉඩලබා නොදුන්නේය.
පැට් කමින්ස් කඩුලු 4 ක් සහ ජේ රිචඞ්සන් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කඩුලු 2 ක් දවාගත් මිචෙල් ස්ටාක් සිය 200 වැනි කඩුල්ල ලෙස සුරංග ලක්මාල් දවාගනිමින් වාර්තා පොත් අතරට එක්වීමට සමත්විය.
පළමු දිනට අද (24 වැනිදා) තරගය අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 72 ක් රැස්කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 72 ක් පසුපසින් ඕස්ට්‍රේලියාව පසුවන්නේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින මාකස් හැරිස් ලකුණු 40 ක් රැස්කර ඇති අතර නේතන් ලයන් තවමත් ලකුණු රැස්කිරීමට ආරම්භකර නොමැත.
සුරංග ලක්මාල් සහ ඩිල්රුවන් පෙරේරා කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව ලකුණු 144 කට සීමාවෙයි  ශ්‍රී ලංකාව ලකුණු 144 කට සීමාවෙයි Reviewed by CHAA MEDIA on January 24, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.