Seo Services

දිවි නසාගන්නත් පෙළඹෙන එපා කරපු කැක්කුම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වරින්වර එන හිත උමතුකරවන දරන්නට බැරි හිසේ කැක්කුම හෙවත් ඉරුවාරදය නැත්නම් Migraine ගැන ඔබ අසා ඇති. මේ රෝගය ඇති අයගෙන් 90%කටම වගේ රෝගය වැළඳෙන්නේ වයස අවරුදු 40ට පෙරයි. ඒ වගේම මෙය කාන්තාවන් අතර බහුල රෝගී තත්ත්වයකි.
ඉරුවාරදයෙන් වැළකීමට:
ඉරුවාරදය සඳහා දිනපොතක් තබා ගැනීමෙන් එය සෑදීමට බලපාන සාධක හඳුනාගෙන ඒවා මග හරවා ගත හැක.
• ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
• මානසික ආතතිය අවම කරගැනීම
• ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීම
• සමබර ආහාර වේලක් නිසි වේලාවට ලබාගැනීම
• අධික ශබ්ද, අධික සූර්යාලෝකයට  නිරාවරණය වීමෙන් වැළකීම

රෝගය ඇතිවීමට හේතු:
රෝගය ඇතිවීමට ජානමය සහ පාරිසරික සාධක යන දෙවර්ගයම හේතු වේ. ඇතැම්විට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ සිදුවන,
1. නින්දේ වෙනස්කම් (අධික නිදි වැරීම, පමණට වඩා නිදාගැනීම වැනි)
2. මානසික ආතතිය
3. හෝමෝන ආශ්‍රිත වෙනස්කම් (කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේදී, ගර්භනී අවදිය, ආර්තවහරණයේදී සිදුවන ඊස්ට්‍රජන් මට්ටමේ වෙනස්කම් වැනි)
4. ආහාර රටාවේ සිදුවන වෙනස්කම් (ආහාරවේල් මඟහැරීම, අධික ලුණු සහිත ආහාර, මත්පැන් සහ කැෆේන් අධික ලෙස අඩංගු ආහාරපාන භාවිතය)
5. අධික ශබ්ද, අධික සූර්යාලෝකය, තියුණු ගන්ධයන්ට නිරාවරණය වීම.
6. අධික වෙහෙස
7. ඇතැම් ඖෂධ වර්ග භාවිතය (GTN, උපත් පාලන පෙති)
වැනි ජීවන රටාවේ සිදුවන සරල වෙනස්වීම් පවා ඉරුවාරදය ඇතිවීමට හේතු විය හැකිය.
රෝග ලක්ෂණ
හිසෙහි එක්පසෙක හටගන්නා අනින්නාක් මෙන් දැනෙන (throbbing type) වේදනාව ඉරුවාරදයෙහි අවේණික ලක්ෂණයකි. නිසි ප්‍රතිකාර නොගත් විට මෙම හිසරදය පැය 4 සිට දින 3ක් පමණ දක්වා පැවතිය හැකිය. රෝගය වැළදුනුවිට ඇතිවන හිසරදයත් සමඟම ආලෝකය, ශබ්දය සහ චලන කෙරෙහි අධික සංවේදීතාවයක් දැක්වීම නිසා ආලෝකය, ශබ්දය සහ චලන මගින් රෝගියාහට දැඩි අපහසුතාවයක් ඇතිවීම සිදුවේ. වමනය, ඔක්කාරය, සහ කරකැවෙන ස්වභාවයද ඇතිවිය හැකිය. මෙයට අමතරව ඇතැම් රෝගීන්ට පෙනීමේ වෙනස්කම් ඇතිවීමද සිදුවේ. බිඳීගිය වීදුරු මතුපිටක් හරහා බලන පරිදි දර්ශනය වීම, අඳුරු ලප වැනි දෑ දර්ශනය වීම. උමඟක් තුළින් බලන්නාක් සේ පෙනීම. (tunnel vision) ඉන් කිහිපයකි.
එමෙන්ම කථනයේ අපහසුතාවයද, මුහුණේ හෝ ශරීරයේ එක් පසෙක ඇතිවන වේදනාවද ඇතැම් රෝගීන්හට අත්දැකීමට සිදුවේ. මෙම රෝග ලක්ෂණ සහ රෝගය ඇතිවූ විට දැනෙන අපහසුතාවය රෝගියාගෙන් රෝගියාට වෙනස්වන අතර එකම රෝගියකුගේ වුවද රෝගය වැළදෙන වාර දෙකක් සලකා බැලූ විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආකාරය සහ ප්‍රමාණය වෙනස් වියහැකිය. කෙසේ වෙතත් දැඩි ඉරැවාරදය නිසා සාමාන්‍ය දෛනික කටයුතුවල යෙදීම පවා අපහසු විය හැකිය. විධිමත් රෝග ඉතිහාසය ලබාගැනීම සහ විධිමත් සායනික සහ ස්නායු පරික්ෂාවෙන් අනතුරුව රෝග විනිශ්චය සිදුකරනු ලැබේ.
ප්‍රතිකාර විධි
ඉහත රෝග ලක්ෂණ ඔබටත් ඇතිවී ඇත්නම් ඔබත් ඉරුවාරදයෙන් පෙළෙනවා විය හැකිය. මෙය ප්‍රතිකාර ලබා ගතයුතු රෝගී තත්වයක් වන අතර ඉරුවාරදය නිසා ඇති වන රෝග ලක්ෂණ වෙන රෝග නිසාද ඇති විය හැකි නිසා වෛද්‍යවරයකු විසින් රෝග නිර්ණය කිරීම වැදගත් වේ. ඉරුවාරදය සම්පූර්ණයෙන් සුව කිරීමට නොහැක. රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා වන ඖෂධීය ප්‍රතිකාර සහ දීර්ඝකාලීන රෝගය පාලනය කිරීම සඳහා වන ඖෂධීය ප්‍රතිකාර ලෙස ආකාර 02කට ඖෂධීය ප්‍රතිකාර ලබාදීම සිදුවේ.
• රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා වන ප්‍රතිකාර හිසරදය ඇතිවූ වහාම ලබාගැනීම මඟින් ඉතාම හොඳ ප්‍රතිකාර ලබාගත හැකිය. මෙහිදී පැරසිටමෝල්, ඇස්ප්‍රීන් වැනි වේදනානාශක හෝ NSAIDS කාණ්ඩයට අයත් ඖෂධද, වමනය සහ ඔක්කාරය පාලනය කිරීම සඳහා දෙනු ලබන ඖෂධ වර්ගද (anti-emetics) ලබාදීම සිදුවේ.
• නිතර නිතර එනම් මාස 1-2ට වඩා අඩු කාලපරතරයක් සහිතව රෝග ලක්ෂණ ඇතිවන රෝගීන්හට රෝගය පාලනය කිරීම සඳහා මාස 3-6 ත් දක්වා ඖෂධ (Propranolol) ලබාදීම සිදුවේ.
එසේ වුවද ඇතැම් ඖෂධ නිසා අහිතකර අතුරුපල ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාමත්ම වැදගත්වේ. එමෙන්ම මෙම ඖෂධ බොහොමයක් ගර්භනී කාලයේදී හා කිරි දෙන අවස්ථාවලදී භාවිතා කිරීමට නුසුදුසු නිසා ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න. ඖෂධීය ප්‍රතිකාරවලට අමතරව කටු චිකිත්සාව, සම්බාහන ප්‍රතිකර්ම මඟින්ද රෝගය පාලනය කරගත හැකිය.
ඔබ වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා:
• හිසරදය සාමාන්‍යයෙන් ඔබට ඉරුවාරදය සෑදෙන තත්ත්වයට වඩා බරපතල වීම, වැඩි වාර ගණනක් සෑදීම හෝ සාමාන්‍ය ප්‍රතිකාරවලට සුව නොවීම.
• අවුරුදු 50 ට වැඩි වයසකදී ඔබට මුලින්ම ඉරුවාරදය ඇති වීම.
• හිසරදය සමග උණ ඇති වීම.
- WebMD
උපුටා ගැනීම -  http://www.deshaya.lk/
දිවි නසාගන්නත් පෙළඹෙන එපා කරපු කැක්කුම දිවි නසාගන්නත් පෙළඹෙන එපා කරපු කැක්කුම Reviewed by CHAA MEDIA on August 03, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.