Seo Services

ආතරයිටිස් රෝගයෙන් මිදීමට ආයුර්වේදයෙන් උපදෙස්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
වර්තමාන ජීවන චක්‍රය තුළ ලෙඩ රෝග වැලඳීමේ ප්‍රවණතාවය ද ඉහළයි. ඒ අතර වඩාත් කතාබහට ලක්වන රෝගයන් අතරට රූමැට්ක සන්ධි ප්‍රදාහය අයත් වේ.
ලෝක ජනගහනයෙන් 0.5 - 1ට ආසන්න ප්‍රතිශතයක් මෙන්ම ශ්‍රී ලංකාව තුළ නිදන්ගත රෝගී ජනගහනයෙන් 11කට ආසන්න සංඛ්‍යාවක් මෙම රෝගයට ගොදුරු වී සිටීම මේ රෝගයේ දරුණු බව විදහාපායි.
අස්ථි අතර පවතින සන්ධිවල ඇතිවන ප්‍රදාහක තත්ත්වයක් නිසා ඇතිවන මේ රෝගයෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස සන්ධි ඉදිමීම, සන්ධිවල ඇතිවන වේදනාව සහ තද ගතිය, උණ, ආහාර අරුචිය වැනි ප්‍රධාන ලක්ෂණ දැක්විය හැකිය.
නිසි අවස්ථාවේදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නොකිරීම නිසා කල්ගතවීමේදී අස්ථිවල ඇදවීම, විකෘතිතා සහ සිරුරේ වෙනත් අවයවයන් (ඇස් / හෘදය ආදී) වලටද හානි වීමට ඉඩ තිබේ.
මෙම රෝගය සඳහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පැවැතියද රෝගය මූලික අවස්ථාවේදීම ඒ සඳහා යොමුවන රෝගීන් පිරිස ඉතා අඩුය. එබැවින් මේ රෝගයෙහි ආයුර්වේද ප්‍රතිකාරවල සාඵල්‍යතාවය අත්විඳිනුයේ ඉතා අඩු ප්‍රමාණයකි.
සන්ධි ආශ්‍රිතව බහුලවම ඇතිවන රෝග තත්ත්වයන් 03ක් ආයුර්වේදයෙහි දැක්වේ. ඒවා සන්ධිගත වාත, ආමවාත, වාතරක්ත නම්වේ.
මේ රෝගවලින් ආමවාත රෝගය රූමැට්ක සන්ධි ප්‍රදාහයට සමපාත කළ හැක.
ආමයෙන් දූෂිත වාතය යන අරුතින් මේ රෝගයට ආමවාත නම ලැබෙන අතර එයට හේතුව විමසා බලමු.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සිරුරේ සියලු ක්‍රියාවන් පාලනය කරනුයේ වාත / පිත්ත / කප යන ත්‍රිදෝෂය මගිනි. මෙම දෝෂයන් සමබරව සිරුර තුළ පවතින විට සිරුරේ නිරෝගී බව රැකේ. එම සමබරතාවයෙහි සිදුවන යම් වෙනසකින් රෝගයක් ඇතිවේ.
මෙම රෝගය හටගැනීමේ මූලය වන්නේ ඉහත කී දෝෂයන්ගේ සමතුලිත බව බිඳී යාම නිසා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයකි. අප ගන්නා ආහාර ජීර්ණය කිරීමෙන් පසු එම ආහාරවල ඇති ‍පෝෂක කොටස් සිරුරට අවශෝෂණය කරනුයේ ආහාර ජීර්ණ පද්ධතිය මගිනි.
නමුත් මේ ක්‍රියාව නිසිපරිදි සිදුනොවීම නිසා අර්ධ වශයෙන් ජීර්ණයට ලක්වූ ආහාර, ජීර්ණ පද්ධතිය තුළ එක්රැස් වීමෙන් ආමය නම් විෂ පදාර්තය නිපදවෙයි. වාත දෝෂය හා එක් වන එම ආමය රුධිරයට එක්වී ඒ හරහා සිරුරේ අස්ථි සන්ධි කරා ගොස් ඒවායේ තැන්පත් වී ආමවාත රෝගය ඇතිකරයි.

රෝගයේ මූලික අවස්ථාවේදී පහත රෝග ලක්ෂණ දැකිය හැක
* සිරුරේ විවිධ ස්ථානවල ඇතිවන වේදනාව (අංගමර්ද)
* ආහාර අරුචිය
* අධික පිපාසය
* අලස බව
* උණ
* අජීර්ණ ලක්ෂණ උදර වේදනා, මල බද්ධය, විටින් විට බඩ පුරවා දැමීම)
* සන්ධිවල තද ගතිය
* සන්ධිවල ප්‍රදාහාරාත්මක ලක්ෂණ (සන්ධි ඉදිමුම / රතුවීම, උෂ්ණත්වය වැඩිවීම, අධික වේදනාව)
* නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව
* අධිකව කටට කෙළ ඉනීම
* ඔක්කාරය / වමනය

ආමවාත රෝගයට ප්‍රතිකාර කිරීමේදී බොහෝ අවස්ථාවල දී ප්‍රමුඛ ලක්ෂණයක් වන වේදනාව ඉලක්ක කර ප්‍රතිකාර සිදුකළද ආයුර්වේද ප්‍රතිකාරවලදී ලක්ෂණානුකූල ප්‍රතිකාරවලට වඩා රෝගයට මූලික හේතුව වූ ආහාර ජීර්ණ පද්ධතියේ සංකූලතාවයන්ට ප්‍රතිකාර කිරීමෙන් ක්‍රමයෙන් වේදනාව ඇතුළු අනෙක් රෝග ලක්ෂණ ද ඉවත් වී යාම සිදුවේ.

මෙහිදී අභ්‍යන්තරව ලබාදෙන කෂාය / කල්ක / පෙති / වැනි ඖෂධවලට අමතරව ස්ථානීයව සිදුකරන ඖෂධීය තෛල සම්බාහන / ස්වේදන / පත්තු / ආ‍ලේප වැනි ප්‍රතිකාරද රෝගය සුව කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදේ.

රෝගයට මූලිකවම හේතුව වූ ආමය නම් විෂ පදාර්ථය ඖෂධ මගින් පැසවා (ජීර්ණයට ලක්කර) මලපහ සමග ඉවත් කිරීමෙන් රෝග ලක්ෂණ බොහොමයක් පහව යයි.

ප්‍රතිකාර කාල සීමාව තුළ රෝගියාගේ ආහාර විහරණ රටාව ක්‍රමවත්  කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාදේ. විශේෂයෙන් නැවත ආම තත්ත්වයක් ඇතිනොවීම සඳහා ආහාර රටාව සකසා ගැනීමට රෝගියා උනන්දු විය යුතුයි.
එමෙන්ම දූෂිත වාත දෝෂය ප්‍රමුඛ අනෙක් දෝෂයන් සමතුලිත කිරීම සඳහා වස්ති ආදි වූ ප්‍රතිකාර සාර්ථක ලෙස භාවිතවේ.

රෝගය නිසා අක්‍රමවත් වූ සන්ධි චලන ක්‍රමවත් කිරීම සඳහා යෝග ව්‍යායාමවල යෙදීම අතිශය ප්‍රතිඵලදායකයි.
රෝගය නිසා දුර්වල වූ සිරුර ශක්තිය නැවත ප්‍රතිස්ථාපනය කර ප්‍රතිශක්තිය වර්ධනය වීම සඳහා ප්‍රතිකාරවල අවසන් කාල සීමාව තුළදී ඖෂධ යෙදීම සිදුකරනු ලබයි.

ආයුර්වේද ඖෂධ විශාල ප්‍රමාණයක් පවතින අතර රෝගියාගේ දෝෂ තත්ත්වය රෝගය පවතින අවස්ථාව වැනි දෑ සලකා බැලීමෙන් පසුව වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර නිර්දේශ කරනු ලබයි.
වැදගත්ම දේ නම් රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීමයි. ප්‍රතිකර්ම සඳහා රෝගය මූලික අවස්ථාවේදීම ලබා ගැනීම හා ඒ ප්‍රතිකාර නිසි අයුරින් ලබා ගැනීම සහ ඔබේ ජීවන චක්‍රය යහපත් කර ගැනීම තුළින් නිරෝගී සුන්දර ප්‍රීතිමත් දිවියක් ඔබට හිමිකර ගත හැක.

උපදෙස් - ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනයේ  මූලධර්ම අධ්‍යයනාංශයේ ආයුර්වේද වෛද්‍ය දිනූෂා බාලසූරිය

සැකසුම  - හේෂාණි බණ්ඩාර
ආතරයිටිස් රෝගයෙන් මිදීමට ආයුර්වේදයෙන් උපදෙස් ආතරයිටිස් රෝගයෙන් මිදීමට ආයුර්වේදයෙන් උපදෙස් Reviewed by CHAA MEDIA on June 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.