Seo Services

සිරුර ඔබට කරන අනතුරු ඇඟවීම්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
සුළු සුළු වේදනා අපහසුතා හෝ ශාරීරික වෙනස්කම් කලක පටන් පැවැතියද අප අතර සිටින බොහෝ අය ඒවා එතරම් ගණන් ගත්තේ නැත. එවැනි සමහර ලක්ෂණ කලබල විය යුතු නොවන සාමාන්‍ය තත්ත්වයන් වුවද තවත් සමහර ලක්ෂණ වහා ප්‍රතිකාර කරා යොමුවිය යුතු රෝගී තත්ත්වයක් පිළිබඳව කල්තියා කරන අනතුරු ඇඟවීමක් වන්නටද බැරි නැත.
අද අප ඔබව දැනුවත් කරන්නට අදහස් කළේ එලෙස අනතුරු ඇඟවීමක් ආකාරයට ඉස්මතු විය හැකි නොතකා හැරිය යුතු නොවන රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි.

අසාමාන්‍ය ආකාරයට ශරීරය කෙට්ටුවීම
සිරුරේ මහත පිළිබඳව කනස්සල්ලෙන් සිටි අයෙකු තමන් එක්වරම කෙට්ටු වන්නට පටන් ගැනීම පිළිබඳව සතුටට පත්විය හැකිය. තමන්ගේ සාරි හැට්ට ඉණ පටි ආදියෙන් සිරුරේ අධික කෙට්ටු බව තහවුරු වේ නම් එය තවදුරටත් සතුටට පත්විය හැකි ආකාරයේ සාමාන්‍ය කෙට්ටු වීමක් නොවිය හැකිය.
ඒ ආකාරයට හිටිවනම කැපී පෙනෙන ආකාරයෙන් ශරීරය කෙට්ටුවන්නට පටන් ගැනීම යම් රෝගී තත්ත්වක් පිළිබඳව අනතුරු ඇඟවීමක් වන්නටද හැකි නිසා වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවී එය සාමාන්‍ය තත්ත්වයක්ද නොවේද යන්න පිළිබඳව නිර්ණය කර ගැනීම මගහැරිය යුතු නොවේ.

පපුව මැද තද කරනවා වැනි දැනීම
වයස අවුරුදු තිස්පහ පමණ ඉක්මවූ අයෙකු ඇවිද යන විට දැනෙන පපුව මැද හිරකරනවා වැනි වේදනාව, කන්පෙති වලට පහළින් බෙල්ල දෙපස වේදනාව සහ එය වම් අත දිගටම ගමන් කිරීම බොහෝ වැඩිහිටියන් සිතන ආකාරයේ 'වාත අමාරුවක්' යැයි නොතකා හැරිය යුතු නොවන තත්ත්වයකි. මෙබඳු ලක්ෂණ හෘදය හා සම්බන්ධ රෝගී තත්ත්වයක් පිළිබඳව කරන අනතුරු ඇඟවීමක් විය හැකි නිසා වහා ප්‍රතිකාර කරා යොමු විය යුතුය.

උදරයේ දකුණු පැත්තේ වේදනාව
උදරයේ හට ගන්නා වේදනා ගැන බොහෝ අය 'ගැස්ට්‍රයිටිස්' යැයි තමන්ම නිගමනය කරන අවස්ථා තිබේ. එහෙත් උදරයේ දකුණු පැත්තේ ඉහළට වන්නට හටගන්නා වේදනාව පිත්තාශයේ ගල් හටගැනීම නිසාද පැවැතිය හැකියි.

හිටගෙන සිටින විට කකු‍ලේ වම් පස වේදනාව
සිටගෙන සිටින විට කොන්දෙන් ආරම්භ වී පාදයේ වළලුකර දක්වා පවතින වේදනාව සිටගෙන සිටින්නට බැරි තරමට වේදනාකාරී නම් එය බොහෝ විට ස්නායු තදවීමක් නිසා හටගන්නා වේදනාවක් වන්නට ඉඩ තිබේ.

වැසිකිළි යෑමේ වෙනස්කම්
දවස් දෙකකට වරක් වැසිකිළි යාම පුරුද්දක් කරගත් අයෙකු දවසට දෙවරක් වැසිකිළි යන්නට පටන්ගෙන ඇත්නම් හෝ දවසට දෙවරක් වැසිකිළි යන්නට පුරුදු වී සිටි අයෙකු දවස් දෙක තුනකට වරක් වැසිකිළි යන්නට පටන්ගෙන ඇත්නම් එය වැසිකිළි යෑමේ සාමාන්‍ය රටාවේ වූ යම් වෙනසකි. එහෙත් එය නොතකා හැරිය යුතු නොවන සාමාන්‍ය තත්ත්වයක් නොවන බව අවධාරණය කළ යුත්තකි.
එසේම අසූචි සමග ‍ලේ මිශ්‍රව පහවීම ආර්ශස් රෝගය යැයි තමතමන් විසින් තීරණය නොකළ යුතුය. අර්ශස් රෝගයේදී ‍ලේ බිංදු බිංදු ආකාරයට මිස අසූචි සමග මිශ්‍රව පහවීම බොහෝ විට සිදු නොවන්නකි.
අසූචි තාර මෙන් කළු පැහැයෙන් පිටවනවා නම් එය දිර වූ ‍ලේ සමග අසූචි පිටවීමක් විය හැකි නිසා කුස තුළ යම් ‍ලේ ගැලීමක් පවතීදැයි සැක හැර ගැනීම අවශ්‍යය. මළපහ සම්බන්ධ එවැනි ලක්ෂණ පිළිකා තත්ත්වයක් නිසාද  පැවැතිය හැකි නිසා වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවිය යුතු බව අවබෝධකර ගත යුතුවේ.

වාඩිවී නැගිටින විට ක්ලාන්තය
බිම වාඩිවී සිට නැගිටින විට දෑස් අන්ධකාර වී ක්ලාන්ත ගතියක් දැනීම, එක් කනකට හෝ ගානවා මෙන් ඝෝෂාවක් දැනීම ‍ලේ හිඟකමේ ලක්ෂණයක් ආකාරයටද පැවැතිය හැකිය. නිතර හාල් කන්නට කෙනෙකුට හිත් දෙනවා නම් එයද ශරීරයේ ‍ලේ අඩුකම පෙන්වන තවත් ආකාරයක් බව අවබෝධකරගත යුතුය.

නිතර දැනෙන අලස බව හෝ නිදිමත
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩිවීම මෙන්ම අඩුවීමද කාන්තාවන්ට නොයෙක් ආකාරයෙන් දැනෙන්නට පටන් ගත හැකිය. තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් අධිකව දහඩිය දැමීම, දෑතේ ඇඟිලි වෙව්ලීමද ආදි ලක්ෂණත් එහි ක්‍රියාකාරිත්වය අඩු වූ විටදී කම්මැලි අලස බව, නිදිමත, ශරීරයට සීතල දැනීම වැනි ලක්ෂණද දැනෙන අවස්ථා තිබේ.

පපුවේ එක් පැත්තකට අනිනවාසේ දැනීම
හුස්ම ගන්නා විට පපුවේ එක් පැත්තකට පමණක් පිටතින් අනිනවාසේ දැනීම පෙණහලු ආශ්‍රිත යම් රෝගී තත්ත්වයක් හේතුවෙන්ද හට ගන්නා අවස්ථා තිබේ.

උපදෙස් ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහ‍ලේ කායික රෝග  විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

උත්පලා සුභාෂිනී ජයසේකර
සිරුර ඔබට කරන අනතුරු ඇඟවීම් සිරුර ඔබට කරන අනතුරු ඇඟවීම් Reviewed by CHAA MEDIA on May 06, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.