Seo Services

නිතර කිවිසුම් යන්නේ පීනස නිසාම නොවේ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
'හචිං හඩිං' කීප වරක් කිවිසන කෙනෙකුගෙන් ඔයාට පීනසේ වගේ නේදැයි ඇසීමට බොහෝ දෙනෙකු අමතක කරන්නේ නැත. කිවිසුම් යාම, හොටු දියර ගැලීම, නාසය හිරවීම, ඇස් නාසය කැසීම, කන් කැසීම, හිසේ බර ගතිය මේ ලෝකයේ 1/5ක් පමණ විශාල ජන සංඛ්‍යාවක් නිරන්තරයෙන් පෙළෙන රෝගී තත්ත්වයකි. සමාජයේ බහුතරයක්ම මෙය 'පීනස' ලෙස හැඳින්වුවද එය අසාත්මික නාසික ප්‍රදාහයයි. සාමාන්‍යයෙන් මිනිස් සිරුර හා ගැටෙන කිසියම් පීඩාකාරී දෙයකට එරෙහිව ප්‍රතිශක්ති පද්ධතිය විසින් ප්‍රතිදේහ නිපදවීමක් සිදුකරයි. මෙවැනි තත්ත්වයකට ගොදුරු  වන්නට හේතුවන දේවල් ජානවලින්ම තීරණය කර තිබේ. උදාහරණයක් ලෙස කෙනෙකුට දුහුවිලි ආඝ්‍රාණය වූ විට පීනස් ලක්ෂණ හට ගන්නා අතර තවත් කෙනෙකුට මල්වල පරාගවලට නිරාවරණය වීමකදී, මේ ප්‍රදාහ තත්ත්වය මතුවිය හැකිය.
මෙවැනි ඇතැම් ද්‍රව්‍ය වලට නිරාවරණය වීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් Ig - E නම් ප්‍රතිදේහයක් නිෂ්පාදනය කරයි. මෙහි ඵලයක් ලෙස හිස්ටමින් නම් රසායනිකයන් නිදහස් වෙයි. මේ හේතුකරගෙන නාසය කැසීම, හොටු දියර ගැලීම වැනි ප්‍රදාහ තත්ත්වය මතුවෙයි. මෙය ජාන හරහා උරුම වන්නකි.  මේ රෝග ලක්ෂණ මතු කරන්නට හේතුවන අසාත්මිකාරක කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වනවා සේම කෙනෙකු ඉන් කීපයකටම අසාත්මික විය හැකිය.
අපට එදිනෙදා පරිසරයේදී හමුවන මෙවැනි අසාත්මිකාරක නිවැරදිව හඳුනාගෙන සිටීම, ප්‍රතිකාර සඳහා සේම, මින් වැළකී සිටීමටද අතිශයින්ම ප්‍රයෝජනවත්ය.
පීනස් තත්ත්වයට ගොදුරු වන බහුතරයකටම දුහුවිලි ආඝ්‍රාරණය ඊට හේතුවෙයි. දූවිලි අංශු අතර ඉතා කුඩා මයිටාවෙකු වෙසෙයි. දූවිලි මයිටාවා House Dustmite මිලි මීටරයකින් පහෙන් පංගුවක් පමණ වන කුඩා පාද 10කින් සමන්විත සත්වයෙකි. නිවසේ දුහුවිලි සහිත ඕනෑම තැනක මේ සතුන් විශාල වශයෙන් ජීවත්වෙයි. ඔබ නිවස අතුගාන අස්කරන විට දුහුවිලි පිසිනවායැයි කියමින් ඒවා රෙදි කෑල්ලකින් තදින් ගසනවාද? ඉන් සිදුවන්නේ මේ දුහුවිලි හා එම සතුන් තැනකින් තවත් තැනකට මාරුවීම පමණි. මොවුන්ගේ මල මේ අසාත්මිකබවට ප්‍රබල ලෙස හේතුවෙයි. දුහුවිලි සහිත පෘෂ්ඨයන් තෙත රෙදි කඩකින් පිසදමන්න. පසුව එය තද උණු වතුරින් සෝදා හරින්න. ඔබගේ ඇඳ ඇතිරිලි මදුරු දැල කොට්ට මෙට්ට මත මේ සතුන් විශාල වශයෙන් ජීවත් වෙයි.
ඒවා හොඳින් පිරිසිදු කරන්න. තද අව්වේ පැය කීපයක් වේලා ගැනීමෙන්ද මේ සතුන් විනාශ කළ හැකිය. එසේම ඇඳ ඇතිරිලි ආදිය සේදීමට තද උණු වතුර භාවිත කිරීමත් හොඳ ක්‍රමයකි. එසේම නිතරම වැකුම් ක්ලීනරයක් ආධාරයෙන් දුහුවිලි පිරිසිදු කළ හැකි නම් වඩාත් හොඳ වන්නේ ඒවා නැවත නැවත එම පරිසරයටම එකතුවීම වළකින නිසාය.
එසේම පැරණි දිරායන පරිසරයන් හි පවතින පුස් වර්ග වලින් පිටවන දහස් සංඛ්‍යාත බිජානු පීනසය උත්සන්න කිරීමට හේතුවෙයි. එසේම මල් වල පරාගද මේ අසාත්මික ලක්ෂණ මතුකිරීමට හේතුවකි. සමහර මල්වල පරාග, ගොයම් මල්වල පරාග සේම වී කාටුවත් පීනසට හේතු වන බව සොයාගෙන තිබේ. එසේම නිවසේ තිබෙන මකුළු දැල්ද පීනස් කාරකයකි. වාතයේ පාවෙන බොහෝ අංශු මේ මකුළු දැල් මත තැන්පත්ව තිබේ. සුළඟට ඒවා සෙලවෙන විට සේම මකුළු දැල් කඩන විටද පරිසරයට වාතයට එකතු වන මේ පීනස් උත්සන්න කරවන ද්‍රව්‍ය නිසා රෝග ලක්ෂණ තීව්ර වෙයි.
කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලේ උගුර, කන, නාසය පිළිබඳ  විශේෂඥ වෛද්‍ය  වරුණ ජයසිංහ

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න
නිතර කිවිසුම් යන්නේ පීනස නිසාම නොවේ නිතර කිවිසුම් යන්නේ පීනස නිසාම නොවේ Reviewed by CHAA MEDIA on February 21, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.