Seo Services

ලස්සන වීමට මානසික ප්‍රසන්නතාවය වැදගත්

සැබෑ සුන්දරත්වය ගැන තිබෙන මත විවිධාකාර වූ නමුත් ලලනා සුන්දරත්වය ගැන ඈත අතීත කාලවල ලියැවුනු අපේ ‍පොතපෙතහි ඉතා වැදගත් කරුණු රැසක් සඳහන් වෙයි. කාලයත් සමග ඒවා සහමුලින්ම අමතක කර දමා විවිධ කෘත්‍රිම ක්‍රම වලට ආසක්තව ඒවා මහ ඉහළින් වැලඳ ගත්තද ඒ නිසා අත්විඳින්නට සිදුව තිබෙන දුර්විපාක ද සුළුපටු නැති බව දැන් දැන් පෙනෙන්නට තිබේ. මේ අනිසි ප්‍රතිඵල හේතුකරගෙන ලෝකයේ අති දියුණු රටවල අය පවා රූපලාවනා්‍ය හා සම්බන්ධ, ස්වභාවික දේවලට දැන් යොමු වෙමින් තිබේ. එබැවින් අපේ ඒ පැරණි දැනුම් සම්භාරයන් නැවත කළු මැද ඔප්නංවා ගැනීමට දැන් කාලය එළැඹ ඇතැයි සිතේ.
සුන්දරබවින් පරිපූර්ණ කාන්තාවක් සතුවිය යුතු අංග පහක් ගැන ගුරුළුගෝමී පඩිවරයා, “ධර්ම ප්‍රදීපිකා” නම් ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. කේෂ, මාංශ, අස්ථි (දන්ත) ජවි සහ වය (වයස්) ඒ කල්‍යාණයන්ය. නිරෝගී දිගු කෙස් වැටියක්, පිරිපුන් සිරුරක්, නිරෝගී දත් දෙපළක්, සමේ පැහැපත් බව සහ වයසට වඩා අඩු වයසක් දිස්වීම් ඒ පරිපූර්ණ විය යුතු පංචාංගයන්ය.
නමුත් මේ වන විට ඉතිරි සියලු කරුණු අමතක කර දමා සමේ පැහැය ගැන පමණක් උනන්දුවීම, සීමාව ඉක්මවා යමින් තිබේ. එසේම මේ සුන්දර බව කාන්තාවන්ට පමණක් සීමා වූ දෙයක්ද නොවන බව තවත් වැදගත් කරුණකි. එය කාන්තාවන්ට සේම පිරිමි පාර්ශවයටද බලපාන ‍පොදු දෙයකි. වරක් දුටු විට නැවත හැරී බලන්නට තරම්, සිත විනිවිද දුවන සිතුවිල්ලක් පහල වන කාන්තාවන් සේම පිරිමින්ද ලොව සිටින බව අමතක කළ යුතු නොවේ.
සැබෑ ජවි කල්‍යාණයෙන් යුතු කාන්තාවකගේ සිරුරේ පැහැය ගැන සඳහන් වන්නේ එය මානෙල් මල් වල තැවරී තිබෙන දම් පාටට හුරු සුදු පැහැය බවය.
එසේම එය කිණිහිරියා මල් වල තිබෙන දම් පාටටද සමාන බවද කියැවෙයි. එසේ නම් අපේ රටේ බහුතරයක් කාන්තාවන් සතු සමේ පැහැය මේ කියනා පැහැයට සමාන නොවේද?
මේ සුන්දරබව වැඩිදියුණු කරගත හැකි ක්‍රම ගණනාවක් ගැනද මේ පැරණි ලියවිලිවල සාකච්ඡා කර තිබේ. එය අද සමාජය සිතනවාට වඩා ගැඹුරට විහිදුනු, ජීවිතයේ වටිනාකම් හා සබැඳුනු දෙයකි. පහන් වූ ඇවතුම් පැවතුම් හා සමග වර්ධනය වන ගුණ කදම්භය රූ සපුව සුන්දර කරමින් පිටතට විදාරණය වන ආකාරය ඒවායේ අපූරුවට විස්තර කරදී තිබේ. මානසික ප්‍රසන්නතාවය, සිතේ පවතින සතුට මුසු සන්සුන්බව,  යහපත් සෞඛ්‍ය හුරුපුරුදු වර්ධනය කරගෙන නිරෝගී බව ආරක්ෂා කර ගැනීම, තම රූපය වඩ වඩාත් සුන්දර කර ගැනීමට මනාව හේතුවන ආකාරද ඒවායෙහි අන්තර්ගතය. එසේම මේ ආකාර වලට තම රූපය ඔප මට්ටම් වන විට, එය ලෞකික සැප සම්පත් උරුම වීමටද ප්‍රබල ලෙස හේතුවන ආකාර ගැන තවදුරටත් ඉපැරණි වෛද්‍ය ග්‍රන්ථවල විස්තරවේ.  රූපලාවන්‍ය ලෙස ඒවායේ විස්තර කරන්නේ යහපත් කාන්තාවක, පුරුෂයෙකු ලෙස යහපත් ගුණ වගා කරගනිමින් පිටතින් පමණක් නොව ඇතුලාන්තයෙන්ම සුන්දර වන ආකාර ගැනය.
“යම් තැනැත්තෙකු උවමනාවෙන් හෝ අහඹු ලෙස හෝ සොබාදහමට ළංවේ නම් එය තමන්ට දායාද වී ඇති රූපය තව තවත් ඔපමට්ටම් වීමට ප්‍රබල ලෙස හේතුවන බව ද විශේෂයෙන් සඳහන්ව තිබේ.

උපදෙස් නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ උද්භිද අංශයේ හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ ව්‍යාප්ති නිලධාරි දේශීය ශාක පිළිබඳ පර්යේෂක අතුල කනකරත්න

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

උපුටා ගැනීම - ලක්බිම වෙබ් පුවතින්



ලස්සන වීමට මානසික ප්‍රසන්නතාවය වැදගත් ලස්සන වීමට මානසික ප්‍රසන්නතාවය වැදගත් Reviewed by CHAA MEDIA on January 02, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.