Seo Services

පිටිපස්සෙන් ලේ යනවද?

මළපහ පිටකිරීමේදී ඇතිවන තදබල වේදනාව සහ රුධිරය පිටවීම රෝග ලක්ෂණ ලෙස පවතින විටදී එය අර්ශස් රෝගය නිසා ඇතිවන තත්ත්වයක් ලෙස බොහෝ දෙනා සිතන්නට පෙළඹී සිටිති. නමුත් වෙනත් බොහෝ රෝග නිසාත් මෙවැනි අවස්ථා ඇතිවිය හැක. අර්ශස් ගුද මාර්ගාශ්‍රිත පිළිකා, මහා අන්ත්‍ර පිළිකා, ගුද මාර්ගයේ ආසාදන මෙන්ම දීර්ඝ කාලීන මළබද්ධයේදී වියළි ඝණ මළ පිටකිරීමේදී සහ ගුද මාර්ගයේ සීරීම් නිසාද ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම සිදුවිය හැකිය. 
එමෙන්ම මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට වඩාත් සැලකිලිමත් විය යුතු වන්නා සේම නිවැරදි රෝග තීරණයක් ලබාගත යුතුය.
මළ පිටකිරීමේදී තදබල වේදනාව හා මළ සමඟ රුධිරය පිටවීම රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි බහුල රෝග අවස්ථාවක් ලෙස පරිකර්තිතා රෝගය හැඳින්විය හැක. මෙය වෛද්‍ය විද්‍යාවේදී Anal fissures ලෙස හැඳින්වෙන අතර ස්ත්‍රී පුරැෂ හෝ වයස් භේදයකින් තොරව ගුද විවරයේ පැලීම් හටගැනීම මෙහි ප්‍රධාන ලක්ෂණය වේ. මෙය ඉතාමත් වේදනාකාරී අවස්ථාවකි.
පරිකර්තිතා රෝගයට ප්‍රධාන හේතුව වන්නේ මළබද්ධයයි. වියළි ඝණ මළ අපහසුවෙන් පිටකිරීමේදී ගුද මාර්ගයේ ඇති පටක ඉරීමකට ලක්වෙයි. ගුද විවරයේ පැලීම් නිසා මළ පිටකිරීමේදී ඇදීමකට ලක්වී තදබල වේදනාව හා දාහය ඇතිවේ. රුධිරය පිටවීමද සිදුවේ. තරැණ මහළු හා කුඩා දරුවන් අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ රෝගය බහුලව දැකිය හැක.
වයසත් සමඟ රුධිර සංසරණය අඩාලවීම හා මාංශපේෂීවල ශක්තිමත්භාවය අඩුවීමෙන් පටක බිඳීයාමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. දිගුකාලීනව අතීසාරය පැවතීම නිසාද පරිකර්තිතා ඇතිවීමේ අවදානමක් පවතී. එසේම කාන්තාවන්ට දරු ප්‍රසූතියේදී ගුද ප්‍රදේශයට බලපාන පීඩනය නිසාද මෙය ඇතිවිය හැක.
මීට අමතරව ක්ෂය රෝගය, පිළිකාමය අවස්ථා, ප්‍රතිශක්තීකරණ ඌණතා රෝග හා හර්පිස් වැනි ලිංගාශ්‍රිත රෝගවලදීද Annual Hissures ඇතිවේ.
විශේෂිත රෝග ලක්ෂණය වන්නේ මළ පිටකිරීමේදී හා මළ පිටකිරීමෙන් පසු ඇතිවන තදබල වේදනාව හා දාහයයි.
මළ සමඟ තැවරී රුධිරය පිටවීම හෝ මළ පිටකිරීමෙන් පසුව බින්දු ලෙසින් රුධිරය පිටවේ. මළ පිටකිරීමෙන් පසු ටික වේලාවක් යනතුරැ වේදනාව පවතී. මෙම වේදනාව නිසා බොහෝ රෝගීහු මළ පිටනොකර සිටීමට පෙළඹෙති. එමගින් ඇතිවන අහිතකර ප්‍රතිඵලය වන්නේ ගුද මාර්ගය ආශ්‍රිතව එක්රුස් වන මළ ද්‍රව්‍ය මගින් තවදුරටත් ජලය අවශෝෂණය වී ඒවා තව තවත් ඝණ හා වියළි බවට පත්වී මළබද්ධය වර්ධනය වීමයි.
එබැවින් මෙම රෝගයෙන් වැළකී සිටීමට සුදුසු පියවර ගත යුතුය. මළබද්ධය වළක්වාගැනීම ඉතාමත් වැදගත් වේ. මේ සඳහා හොඳින් ජලය පානය කිරීම, කෙඳි බහුල තන්තුමය ආහාර, පලා වර්ග, එළවළු පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වාගැනීම, එනම් දිනපතා ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම් පවත්වාගැනීම මගින් මළබද්ධය වළක්වාගත හැකිය. විශේෂයෙන් කලබලකාරී මානසික තත්ත්වයෙන් මිදීමට නිතරම උත්සාහ ගත යුතුය. අන්නාසි, අච්චාරැ, බලමාළු, ඉස්සෝ, දැල්ලෝ වැනි උෂ්ණාධික ආහාර මෙන්ම ආසාත්මිකතා ඇති කරන ආහාර සීමාකළ යුතුය.
මෙවැනි රෝග අවස්ථාවලදී රෝගය පවතින ස්ථානය සමඟ බැක්ටීරියා ආසාදනය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. එබැවින් සනීපාරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.
මෙවැනි රෝග සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් අතර කාලයේදී සුවවීමේ හැකියාව ඇතිමුත් දවසින් දවස මළ පිටකිරීමේදී මෙම පැලීම් අලුත් වන නිසා සුවවීමට කල්ගත වන අවස්ථා පවතී.
ඇතැමුන්ට වරින්වර නිතර මෙවැනි රෝගයන් ඇතිවන අතර ඇතැම් අයට දීර්ඝ කාලීනව පැවතිය හැකිය. මෙසේ දීර්ඝ කාලීනව රැධිරය පිටවීමක් පැවතීමෙන් රෝගියා දුර්වල තත්ත්වයට පත්වීම හා වෙනත් උපද්‍රව ඇතිවිය හැකි බැවින් මෙය ඖෂධීය ප්‍රතිකාර මගින් පාලනය කළ යුතුය.
පරිකර්තිතා රෝගයට ආයුර්වේද ඖෂධ මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. රෝගී පරීක්ෂාවෙන් පසු රෝග හේතුවට අනුව ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් තීරණය කරයි. මේ සඳහා බාහිර හා අභ්‍යන්තර ඖෂධීය ප්‍රතිකාර යොදාගනී. මෙයට බාහිර ඖෂධ ආලේපනයද ඉතා සාර්ථක ක්‍රමයකි.
කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල
පිටිපස්සෙන් ලේ යනවද?  පිටිපස්සෙන් ලේ යනවද? Reviewed by CHAA MEDIA on December 07, 2018 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.