Seo Services

මොකද්ද මේ ඉක්කාව!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
ඉක්කාව කියන්නෙ අපි හදාගන්න අකමැති දෙයක්. “ඉක්කයි මායි  ගාලු ගියා - ඉක්කා හිටියා මම ආවා” කියලා පොඩි කවියක් කියල හරි ඉක්කාව යවා ගන්න අපි හැමෝම උත්සාහ කරන්නෙ ඒ නිසයි. ඉස්සෙල්ලාම හොයලා බලමු මේ ඉක්කාව ඇති වෙන්නෙ කොහොමද කියලා. ඉක්කාව ඇතිවෙන්නෙ මහාප්‍රාචීර පේශියේ (diaphragm) ඇතිවෙන පේශි ගැස්මක් හෙවත්  භ්‍රාශයක් (spasm) නිසා කියලා තමා දැනට හොයාගෙන තියෙන්නෙ. මේ මහාප්‍රාචීරය මගින් තමා අපේ පපු කුහරය උදර කුහරයෙන් වෙන් කරන්නෙ. මේ පේශි භ්‍රාශය නිසා අපි ගන්න හුස්ම ස්වර තන්ත්‍රවලදී ක්ෂණික නැවතීමකට ලක් වෙනවා. අන්න එතකොට තමා ඉක්කාව නමින් හඳුන්වන “ඉක්” ශබ්දය පිටවීම සිදුවෙන්නේ.
ඉක්කාව ඇති වෙන්නේ ඇයි?
ඉක්කාව ඇතිකරන ප්‍රධානතම හේතුව වෙන්නෙ අධිකව පිරුණු උදරය. ඉක්මනින් අනවශ්‍ය තරම් ආහාර ප්‍රමාණයක් ගිල දැමීම, අධික මත්පැන් පානය හා අමාශයේ හුළං පිරීම නිසා මෙහෙම උදරයක් ඇතිවෙන්න පුළුවන්.
ඊට අමතරව, දුම්පානය, ආමාශයේ ඇතිවෙන ක්ෂණික උෂ්ණත්ව වෙනස්වීම් උදා:-උණුසුම් පානයක් ගැනීමෙන් අනතුරුව ඒ සමඟම ශීතකළ පානයක් ගැනීම හා මානසික ආතතිය හෝ අධික උද්වේගය වැනි තත්ව නිසාත් ඉක්කාව ඇතිවිය හැකියි.
දැන් අපි හොයලා බලමු ඉක්කාවක් කොච්චර විතරවෙලා තියෙන්න පුළුවන්ද කියලා.
සාමාන්‍යයෙන් ඉක්කාවක ආයු කාලය වෙන්නෙ මිනිත්තු කීපයක ඉඳලා පැය කීපයක් දක්වා කාලයක්. පැය 48කට වඩා කාලයක් රඳාපවතින ඉක්කාවක් අපි හඳුන්වන්නෙ persistent hiccups කියන පොදු නාමයෙන්. ඉතින් ඉක්කාවක් මාසෙකටත් වඩා කාලයක් තියෙනව නම් අපි ඒකට කියනවා intractable hiccups කියලා. මේකනම් හරිම කරදරකාරී ඉක්කාවක්. මේ වගේ ඉක්කාවකට පුළුවන් අපේ ජීවිතේ උඩුයටිකුරු කරන්න. අපේ නින්ද අවුල් කරලා දාලා සිරුරේ බර අඩුකරලා අපිව වෙහෙසට පත්කරන්න මේ වගේ දීර්ඝ කාලයක් පවතින ඉක්කාවකට පුළුවන් කියලා මතක තබා ගන්න.
වැදගත්ම දේ තමා, මෙහෙම දීර්ඝකාලීනව පවතින ඉක්කාවක් කියන්නෙ සිරුෙර් පවතින යම්කිසි දරුණු රෝගී ත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යාවශ්‍යයි.

දීර්ඝ කාලීන ඉක්කාවක් ඇති කරවිය හැකි රෝග තත්ත්ව:
• මධ්‍ය ස්නායු පද්ධතියේ ඇතිවන ආබාධ. උදා:-පිළිකා තත්ත්ව, ආසාදන, ආඝාත තත්ත්ව හෝ අනතුරු. • සිරුරේ රසායනික ක්‍රියාවලීන්ගේ ඇතිවෙන වෙනස්කම්. උදා:-අක්මාවේ ක්‍රියාකාරීත්වය ඉහළ යාම. • හිසේ, බෙල්ලේ හෝ පපුවේ පවතින ස්නායු උද්දීපනයට පත්වීම (සාරිකා ස්නායුව හෝ ප්‍රේණික ස්නායුව) • නිර්වින්දනය හෝ සැත්කම් • යම් යම් මානසික ආබාධ තත්ත්ව
ඉක්කාව සුව කරන්නේ කෙසේද?
බොහොමයක් ඉක්කා තත්ත්ව මිනිත්තු කීපයක සිට පැය කීපයක් දක්වා කාලයකදී ඉබේම නැති වී යන නිසා විශේෂ ප්‍රතිකාරයකට යොමුවීම අවශ්‍ය වෙන්නේ නෑ. ඉක්කාව සුවකරගන්න නිවසේදීම කරගන්න පුළුවන් සරල ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා. මේවායින් ගොඩක් වෙලාවට වෙන්නෙ
රැධිරගත කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ නැංවීම.
උදා:-
• හුස්ම අල්ලාගෙන සෙමෙන් දහයට ගණන් කිරීම
• ශීතකළ වතුර වීදුරැවක් වේගයෙන් පානය කිරීම
• සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම
කාලීන ඉක්කාවකදී එය ඇතිකරන හේතුව සොයා එයට ප්‍රතිකාර ලබාගැනීම කළයුතු වෙනවා. මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ කළ යුතුයි. මෙහිදී වෛද්‍යවරයා විසින් නියම රෝගී තත්ත්වය හඳුනාගැනීම සඳහා යම් යම් පරීක්ෂණ සිදු කරනවා. ඉක්කාවට හේතුවිය හැකි බරපතල රෝගී තත්ත්ව රෝගීයාට තිබේදැයි හඳුනා ගැනීම මෙම වෛද්‍ය පරීක්ෂණවල අරමුණ වෙනවා.
ඉක්කාව කාන්තාවන්ට වඩා පිරිමින්ට ඇතිවීමේ සම්භාවිතාවය වැඩි බව හඳුනාගෙන තිබෙනවා. එසේම කුඩා ළදරුවෙකුගේ සිට වැඩිහිටි මහල්ලෙකු දක්වා ඕනෑම අයෙකුට ඉක්කාව ඇතිවිය හැකියි.
- HEALTH Web

උපුටා ගැනීම - දේශය වෙබ් අඩවියෙන්
මොකද්ද මේ ඉක්කාව! මොකද්ද මේ ඉක්කාව! Reviewed by CHAA MEDIA on February 29, 2020 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.