Seo Services

දුම්වැටියෙන් සිරුරේ ලෙඩ හැදෙන තැන්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එක ලෙස ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කළ හැකිය. ඔබ දුම්පානය කිරීම නොකළත් අක්‍රීය දුම්පානයට ලක්වන අයෙක් නම්, ඔබේ දිවිය ඇත්තේ අනතුරකය. දුම නිසා සිරැරේ රෝග හැදෙන තැන් ගැනයි මේ.
සන්ධි:
ඔබගේ සන්ධි ඉදිමීමකට ලක් වී වේදනා ගෙනදෙනවාද? දුම්පානය කරන්නන්ට රූමැටොයිඩ් පර්වදාහය (Rheumatoid arthritis) නැමැති සන්ධි ප්‍රදාහය වැළඳීමට වැඩි අවදානමක් ඇතිබව පර්යේෂණ මගින් හෙළිවී ඇත. එමෙන්ම, රූමැටොයිඩ් පර්වදාහය ඇති අයෙක් දුම්පානය කරන්නේ නම්, එම රෝගය මර්ධනය කිරීම සඳහා ලබාගන්නා ඖෂධ නිසි අයුරින් ක්‍රියානොකරන බවද සොයාගෙන ඇත. කෙසේ වුවත්, එසේ වන්නේ ඇයිද යන්න තවමත් පැහැදිලි නොවූ කාරණයකි.
සම:
වයස්ගත වීමත් සමඟ ක්‍රමයෙන් සමේ රැළි ඇති වීම දක්නට ලැබෙන දෙයකි. දුම්පානය කිරීම, සමේ රුළි ඇති වීම ඇතුළු සමේ වයස්ගත වීමේ ක්‍රියාවලිය ඉක්මන් කරයි. ඇතැම්විට, දුම්පානය කරන අවුරුදු 40ක පුද්ගලයකුගේ සම, දුම්පානය නොකරන අවුරුදු 70 ක පුද්ගලයෙකුගේ සමෙහි පෙනුමට සමාන වන අවස්ථා දක්නට ලැබේ. විශේෂත්වය වන්නේ, දුම්පානය කිරීම මගින් ඔබේ සමට හානි සිදුවුවහොත්, එය නැවත යථා තත්ත්වයට පත්නොවීමයි. එමෙන්ම, එය සමේ පිළිකා ඇතුළු සමේ රෝග ගණනාවකටම හේතුවන අතර, දැනට පවතින සමේ රෝග දුම්පානය මගින් උත්සන්න වනු දැකිය හැක.
ඇස්:
ඔබගේ දෘෂ්ටි පථය තුළ එනම්, ඔබට පෙනෙන පරාසයේ මැද ඇති පෙනුමට හානි කරන රෝගයක් ලෙස macular degeneration නැමැති තත්ත්වය හැඳින්විය හැක. ඔබ දුම්පානය කරන්නෙක් නම්, මෙම රෝගය වැළඳීමට ඇති අවදානම දෙගුණයකින් ඉහළ යයි. මෙම රෝගය වැළඳුන විට කියවීම, ලිවීම, සහ ඔබ ඉදිරියේ සිටින අයකුගේ මුහුණ දැකගැනීමට අපහසු වේ. එමෙන්ම, දුම්පානය කිරීම, ඇසේ සුද මතුවීමට ඇති අවදානම තුන් ගුණයකින් ඉහළ දමයි.
ලිංගික අප්‍රාණිකත්වය:
දුම්පානය කරන පුරුෂයන්  අප්‍රාණිකත්වයෙන් පෙළිමට  වැඩි අවදානමක් ඇත. ඔබ වැඩි වැඩියෙන් දුම්පානය කරන පුරුෂයෙක් නම්,  අප්‍රාණිකත්වයෙන් පෙළිමට  ඇති අවදානමද එයට සමානුපාතිකව ක්‍රමයෙන් ඉහළ යයි. එමෙන්ම, දුම්පානය කිරීම මගින් පුරුෂයන්ට වෘෂණ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවන අතර, කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා ඇතිවීමට වැඩි අවදානමක් ඇතිවේ.
විදුරුමස:
විදුරුමස් රෝගය, දත් දිරායාමට සහ දත් වැටීමට ප්‍රමුඛතම හේතුව ලෙස දැක්විය හැක. මෙම විදුරුමස් රෝගයේදී, විදුරුමස වේදනාකාරී වීම, ලේ ගැලීම, ආහාර සැපීමේදී වේදනා ඇතිවීම, සහ මුඛයෙන් දුගඳක් හැමීම ඇතිවේ. ඔබ දුම්පානය කරන්නේ නම්, විදුරුමස් රෝගය වැළඳීමට ඇති අවදානම දෙගුණයකින් ඉහළ යයි. එමෙන්ම, ඔබ දුම්පානය කරන ප්‍රමාණයට සමානුපාතිකව විදුරුමස් රෝගය වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවනු දැකිය හැක.
මොළය:
දුම්පානය කරන්නෙකුට, එසේ නොකරන්නකුට වඩා අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට තුන් ගුණයකටත් වඩා වැඩි අවදානමක් ඇතිබව ඔබ දන්නවාද? මොළය ආශ්‍රිතව ඇති රුධිර වාහිනියක ලේ කැටියක් සිරවී අවහිර වීමෙන් අංශභාගය ඇතිවන අතර, එය මුහුණේ පැත්තක් පණ නැතිවීම, ශරීරයේ පැත්තක් පණ නැතිවීම, පෙනීම අඩුවීම හෝ නැතිවීම, කථාකිරීමට අපහසුවීම, ඇවිදීමට අපහසුවීම මෙන්ම, ඇතැම්විට මරණය ද ඇති කරයි. එමෙන්ම, දුම්පානයට ඔබේ රුධිර පීඩනය ඉහළ දැමීමට හැකියාව ඇති අතර, එමගින් මොළයේ රැධිර වාහිනීවල උපුලුව (Cerebral aneurysm) නැමැති තත්ත්වය ඇතිවිය හැක. මෙහිදී, රුධිර වාහිනී බිත්තිය දුර්වල වී, රුධිර පීඩනය නිසා බැලුමක් ආකාරයට පිම්බීම සිදුවේ. උපුලුව හරහා මොළය තුළට රුධිරය කාන්දුවීම හෝ එය පිපිරීම නිසා මොළය තුළ රුධිර වහනයක් සිදුවීම මඟින් ද, අංශභාගය වැළඳීම සිදුවිය හැක.
ආහාර ජීර්ණ පද්ධතිය:
ඔබ දුම්පානය කරන්නේ නම්, ආමාශයේ තුවාළ, අග්න්‍යාශයේ ප්‍රදාහය (Pancreatitis), මහා අන්ත්‍රයේ ගෙඩි හටගැනීම (Colon polyps), අග්න්‍යාශයේ පිළිකා, සහ ක්‍රොන්ගේ රෝගය (Crohn’s disease) නැමැති මහා අන්ත්‍රයේ තුවාළ හා සිදුරු ඇති කරන ප්‍රදාහමය රෝගය වැළඳීමට ඇති අවදානම වැඩිය. එමෙන්ම, ඔබගේ අක්මාවට සහ අග්න්‍යාශයට බලපෑම් ඇතිකරන දෙවැනි වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) හටගැනීමට ඇති අවදානම ද 35% කින් වැඩි කිරීමට දුම්පානය සමත්ය.
පෙනහලු:
පෙනහලු පිළිකාවලින් 90% ක් පමණ ඇතිවන්නේ දුම්පානය කිරීම නිසාවෙනි. ශ්‍රී ලංකාවේ පිරිමි අයට ඇතිවන පිළිකාවලින් දෙවන ස්ථානය ගන්නේ පෙනහලු පිළිකා බව ඔබ දන්නවාද? දුම්පානය කිරීම පිළිකා ඇතිකරන්නේ පෙනහලුවල පමණක් නොවේ. එය, මුඛයේ, වකුගඩුවල, අක්මාවේ, මුත්‍රාශයේ, අග්න්‍යාශයේ, ආමාශයේ, මහා බඩවැල්වල සහ ගුදයේ පිළිකා ඇති කිරීමට සමත්ය. එමෙන්ම, දුම්පානය කිරීම chronic obstructive pulmonary disease (COPD) නැමැති නිදන්ගත හතිය ඇතිකරන රෝගය ඇතිකරන ප්‍රධානම සාධකය වේ. මෙම රෝගයේදී, පෙනහලුවල කුඩා ශ්වාස නාල සහ ගර්තවලට හානි සිදුවීම දක්නට ලැබේ.
හදවත:
ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණවලට වැඩිම දායකත්වය (14.8%) දක්වන හෘද රෝග සඳහා හේතුවන ප්‍රධාන අවදානම් සාධකයක් ලෙස දුම්පානය දැක්විය හැක. දුම්පානය කිරීම මගින් හෘදයේ ඇති රුධිර වාහිනී ඝන වී, සිහින් වන අතර, රුධිරයේ ඝනකම ද වැඩිකර කැටිගැසීමට ඇති හැකියාව ද වැඩි කරයි. මෙම ක්‍රියාවලිය, දුම්පානය කරන්නන්ට හෘදයාබාධයක් ඇතිකිරීමට සමත්ය                        
 Smoking effect/ss
දුම්වැටියෙන් සිරුරේ ලෙඩ හැදෙන තැන් දුම්වැටියෙන් සිරුරේ ලෙඩ හැදෙන තැන් Reviewed by CHAA MEDIA on November 16, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.