Seo Services

අඩු වුණත් ලෙඩ දෙන වැඩි වුණත් ලෙඩ දෙන තයිරොක්සින්!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
අපේ ගෙල අභ්‍යන්තරයේ පිහිටා ඇති සමනළයකුගේ හැඩයෙන් යුත් ග්‍රන්ථියකි. එය තයිරොයිඩ් ග්‍රන්ථියයි. මේ කියන තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ශරීරයේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් තයිරොක්‌සින් හෝමෝනය ශ්‍රාවය කරයි. තයිරොක්‌සින් අපගේ මොළයේ සිට අත්පා දක්‌වා වූ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ගේ නිසි ක්‍රියාකාරීත්වයට බලපායි. ශරීරයේ සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරීත්වයේ වේගය පාලනය කිරීමට තයිරොක්‌සින් හෝමෝනය අත්‍යවශ්‍යය. තයිරොක්‌සින් හෝමෝනය ශරීරයේ උෂ්ණත්වය නිසි ලෙස පාලනය කරයි. මොළයේ වර්ධනයට අත්‍යාවශ්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට සහයෝගය දක්‌වයි.
තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝන වර්ග දෙකක්‌ ඇත. ඒවා T4  (Tetraa Iodo Thyroxine) සහ T3 (Tri Iodo Thyoxine) නමැති හෝමෝනයන්ය.
අපට මෙතරම් ඉතා වැදගත් තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන තයිරොක්‌සින් හෝමෝනය අඩු වූ විට හයිපොතයිරොයිඩ්සම් නමැති රෝගයත් තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අධික වූ විට හයිපර්තයිරොයිඩසම් රෝගයත් මතුවේ.
තයිරොක්‌සින් අඩු වූ විට මොකද වෙන්නෙ?
තයිරොක්‌සින් අඩුවීම හෙවත් හයිපොතයිරොඩයිඩ් නම් රෝගය මතු වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩු වූ විටදීය. එවිට නිතර අලස බව, නිදිමත, මන්දෝත්සාහය, සම වියළීම, අකලට කෙස්‌ හැලීම, මාංශපේශිවල වේදනාව සහ මාංශපේශි දුර්වල බව, මළබද්ධය, කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව සහ ඔසප් දිනවල අධික ලෙස රුධිර වහනය සිදුවේ. ඊට අමතරව බුද්ධි වර්ධනය අඩු වේ. අමතක වීම මතුවී එය ඩිමෙන්ෂියා රෝගය දක්‌වා වර්ධනය විය හැකිය.
ශරීරයේ උෂ්ණත්වය පාලනය අක්‍රමවත් වේ. එනිසා සාමාන්‍ය උණුසුම් පරිසරයකදී වුවද ශරීරය ඇතුළත ශීතල බවක්‌ දැනේ. හෘදවස්‌තුව ක්‍රියා කිරීමේ වේගය අඩුවේ. ශරීරය අධික ලෙස තරබාරු වේ.
ගැබිණි මවකට තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩුවීමේ රෝගය මතු වූ විට ඇයගේ කුසේ වර්ධනය වන දරු කළලයට එය දැඩිව බලපායි, එනම් දරු කළලයේ වර්ධනය බාල වේ. දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වීම සිදුවේ. ශරීර වර්ධනය නිසි ලෙස සිදු නොවේ. ලිංගික පරිණත බවට පත්වීමේදී අඩුපාඩු මතු වේ.
කුඩා කල දරුවනට මතුවන තයිරොක්‌සින් හෝමෝන ඌණතාවය ක්‍රිටීනතාවය (Cretinism) ලෙස හඳුන්වයි. මෙවැනි දරුවන්ගේ ශරීර වර්ධනය බාල වේ. මොළයේ වර්ධනය අඩාල වේ.
තයිරොක්‌සින් නිපදවීම අඩුවීමේ රෝගයට ගොදුරු වූ අය නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී තයිරොක්‌සින් හෝමෝනය පරීක්‌ෂාවකට ලක්‌ වී වෛද්‍ය උපදෙස්‌ මත තයිරොක්‌සින් බාහිරින් ගැනීම මගින් මතුවට ඇති රෝගය පාලනය කළ හැකිය.
Thyroxin අඩු බව සඳහා ප්‍රතිකාර මොනවාද?
ඉහත රෝග ලක්ෂණවලින් එකක් හරි කිහිපයක් හරි තියෙනවා නම්, වහාම අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.
මුලින්ම වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් මගින් තයිරොක්සින් මට්ටම තහවුරු කර ගනියි.
ප්‍රතිකාර ලෙස තයිරොක්සින් පෙති ලබා දෙයි. සමහර විට එය ජීවිත කාලය පුරාම ගන්නට වෙයි. තයිරොක්සින් පෙති ගන්න ඕනෑ උදෑසනමයි, කිසිදු ආහාරයකට පෙර හිස් බඩටයි.
තයිරොක්සින් පෙති ලබාගන්නා අතරතුර වෙන ඕනෑම හේතුවකට වෛද්‍යවරයෙක් හමුවෙනවා නම්, වෙනත් ඕනෑම ඖෂධයක් නියම කරන්න කලින්, තමන් තයිරොයිඩ් පෙති ගන්න බව කියන්න ඕනෑමයි. මෙහිදී T4 තයිරොක්‌සින් හෝමෝනය අඩු වී ඇති ප්‍රතිශතය හඳුනාගැනීම සඳහා TSH පරීක්‌ෂණයක්‌ (Thyroid Stimulating Hormone) සිදු කරනු ලබයි.
තයිරොක්සින්  වැඩි වුණාම?  HYPERTHYROIDISM
තයිරොයිඩ් ග්‍රන්ථිය තුළින් අධික ලෙස තයිරොක්‌සින් ශ්‍රාවය වීම නිසා හයිපර්තයිරොයිඩසම් නමැති රෝගය මතුවෙයි. මෙය hypothyroidism එක්ක සසඳන විට කලාතුරකින් ඇතිවෙන තත්ත්වයකි. මෙය ද පිරිමි ළමයින්ට වඩා ගැහැනු ළමයින් අතර සුලභයි. ඒ වගේම පාරම්පරිකව ඒමට ද නැඹුරැවක් ඇත. මෙතනදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසාමාන්‍ය ප්‍රතිදේහ ප්‍රමාණයක් නිපදවන අතර එතන දී තයිරොයිඩ් ග්‍රන්ථිය විශාලනය වීමෙන් ගලගණ්ඩය (වායු ගෙඩි) ඇතිවිය හැකියි. එවිට රෝගියා තුළින් අසාමාන්‍ය කලබල ස්‌වරූපයක්‌ මතු වේ. නිතර මළ පහ සිදුවීම, හෘද ස්‌පන්දනය අධික වීම, නින්ද නොයාම, ශරීරය කෙට්‌ටු වීම, මස්‌පිඬු වේදනාව සහ මාංශපේශි දුර්වල වීම ආදිය මතු වේ.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරී බව වැඩිවීම නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රදාහයට (Thyroidits) ලක්‌වීමද මතු වේ.
Hyperthyroid රෝගය සඳහා ප්‍රතිකාර මොනවාද?
ඉහත රෝග ලක්ෂණ ඇති විට වෛද්‍යවරයෙක් හමු වුණොත් තයිරොක්සින් මට්ටම පරීක්ෂා කරන්න රුධිර පරීක්ෂණයක් කරයි.
රෝගය තහවුරැ වුණොත් ඒ වෛද්‍යවරයා, අධික තයිරොක්සින් හැදෙන එක අඩු කරන ප්‍රති-තයිරොයිඩ් ඖෂධයක් නියම කරයි.
එමෙන්ම ඔයාට ඔයාගෙම හෘද ස්පන්දනය දැනීම වැනි රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා ඖෂධයක් ද ලබා දෙයි.
සමහර තදබල Hypothyroidism අවස්ථාවලදී රේඩියෝ අයඩින් ප්‍රතිකාරය හෝ  ශල්‍යකර්මයක් කරන්න උපදෙස් ලැබෙයි.
මෙම රෝගය සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොකළහොත් තයිරොක්‌සින් හෝමෝනය අධිකව නිපදවීම නිසා ශරීරය අධික ලෙස කෙට්‌ටු වී ඇස්‌ විශාල වී එළියට විත් මුහුණේ විකෘති බවක්‌ මතුවිය හැකිය. එවැනි පුද්ගලයන් ග්‍රේවීස්‌ ආසාදනයට (Graves Disease) ලක්‌වූ රෝගීන් ලෙස හඳුන්වයි.
ඇතැම් පුද්ගලයන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ එක්‌ කොටසක්‌ පමණක්‌ සක්‍රීය වේ. (Toxic Adenoma) මේ හැම රෝගයක්ම නිසි වෛද්‍ය උපදෙස්‌ මත තයිරොක්‌සින් ඖෂධ ගැනීමෙන්   පාලනය කළ හැකිය. ඇතැම් පුද්ගලයන්ට තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය දිගු කාලයක්‌ පවතින විට ඔවුන් විකිරණශීලී අයඩින් අඩංගු ඖෂධ ප්‍රතිකාරයට යොමු කරනු ඇත. (Radio Active Iodina) මෙම ප්‍රතිකාරය මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් සුව කළ හැකිය.
මෙම විකිරණශීලී ඖෂධ ප්‍රතිකාරය ඉතා ආරක්‌ෂාකාරී ප්‍රතිකාර ක්‍රමයකි. ඒ නිසා ඊට අනවශ්‍ය ලෙස බිය විය යුතු නැත.
මෙලෙස ප්‍රතිකාර මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පාලනය නොවී සැකසහිත ගැටිති මතු වූ විට හෝ පිළිකා හටගත් විට තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍යකර්මයක්‌ මගින් ඉවත් කිරීමට සිදුවේ. මෙය ඉතා සංකීර්ණ සැත්කමකි. තයිරොයිඩ් ග්‍රන්ථීය පිහිටා ඇති බෙල්ල ප්‍රදේශයේ ශරීරයේ ප්‍රධාන රුධිර වාහිනී සහ ස්‌නායු කිහිපයක්‌ ඇත.
කටහඬ උපදවන ස්‌නායු දෙකක්‌ තිබේ. තයිරොක්‌සින් නිපදවන පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය තයිරොයිඩ් ග්‍රන්ථිය පිටුපස කොටසේ පිහිටා ඇත. එනිසා මෙම රුධිර වාහිනී ස්‌නායු සහ පැරාතයිරොයිඩ් ග්‍රන්ථිවලට හානි සිදු නොවන ලෙස සැත්කම සිදු කළ යුතුය.
සුගත්

උපුටා ගැනීම -  http://www.deshaya.lk
අඩු වුණත් ලෙඩ දෙන වැඩි වුණත් ලෙඩ දෙන තයිරොක්සින්! අඩු වුණත් ලෙඩ දෙන වැඩි වුණත් ලෙඩ දෙන තයිරොක්සින්! Reviewed by CHAA MEDIA on August 17, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.