ලොවම මවිත කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් තැතිගත් මුළු රටම පසුගිය ඉරිදා උදෑසන
සිට රූපවාහිනිය වෙත දෑස් දල්වාගෙන සිටියේ ඊළඟට වාර්තා වෙන්නේ මොන විදිහේ
නස්පැත්තියක්දැයි සැකයෙනි. බියෙනි. බෝම්බ පිපිරීමෙන් ගිනිගෙන දැවෙන
දේවස්ථාන හා සංචාරක හෝටල් රූපරාමු දෙස භීතියෙන් තැතිගත් සිතින් බලමින් සිටි
ජනතාව ඊළඟට දුටුයේ හද කම්පා කරවන රූපරාමුවකි.
රූපරාමුවේ වූයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලයි. එහි මුලින්ම පෙනුනේ
කම්පනයෙන් දැවී ගිය පුද්ගලයෙකි. ඒ අසල ඇඳක මාස තුනහතරක සිඟිත්තියකි. “මේ
දරුවා කොච්චිකඩේ පල්ලිය ළඟ පාර අයිනෙ වැටිලා හිටියෙ. අම්මා තාත්තා කවුද නම්
දන්නෙ නැහැ. ඒත් කාගෙ හරි දරුවෙක්නෙ. දරුව ඉස්පිරිතාලෙට ගෙනාවා. මට
හදිසියක් නැහැ, දරුවගෙ අම්ම තාත්තා කවුද කියල හොයා ගන්නකම් මම දරුවාව බලා
ගන්නම්” සිද්ධියෙන් කම්පිතව ගොත ගැහෙන වදනින් ඔහු කීවේය.
ඔහු කීවා සේම මේ කාගේ හෝ දරුවෙකි. රූපරාමුව දුටු සැණින්, ඒ සිඟිත්තියගේ
මව්පියන්ට වූයේ කුමක්ද? බෝම්බ ප්‍රහාරයෙන් ඔවුන්ගේ ජීවිතවලට අනතුරක්
වුණාද?, ඇයට ඇගේ මව්පියන් සදහටම අහිමි වූවාද? ආදී ප්‍රශ්න රැසක් එකවර අපේ
සිතට ඇතුළු විණි. පසුගිය දිනෙක උදෑසන අපි රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත අප
ගියේ මේ පැනයන්ට විසඳුම් සොයා ගන්නටය.
අප එහි යන විට මේ සිඟිත්තියගේ පියා ඇය සොයා පැමිණ සිටියේය. සිඟිත්තිය
ලක්ෂිකාය. තවමත් සිව්මස් වියැති සිඟිති ලක්ෂිකා, අප යන විටත් සිටියේ ළමා
රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි. බෝම්බ ප්‍රහාරයෙන්
සිඟිත්තියගේ දෑත හා දෙපයම පිළිස්සී ගොසිනි. ඈ වටකර ගත් වෛද්‍යවරු ඒ
පිළිස්සුම් තුවාල වෙලමින් සිටියදී මව පියා අසලක නොමැති සිඟිත්තිය ඒ වේදනාව
දරා ගනු බැරිව රැහැයියෙකු මෙන් විලාප නගන්නීය.
“මේ දරුවා තමයි, එදා ප්‍රහාරයෙන් පස්සෙ පළමුවෙන්ම අපේ රෝහලට ඇතුළු
කෙරුණෙ. දැරිය ප්‍රහාරයෙදි අම්මගෙ හෝ තාත්තාගෙ අතින් පාර අයිනට විසිවෙලා.
දරුවා බිම වැටිලා ඉන්නවා දැකපු කෙනෙක් තමයි රෝහලට ගෙනැවිත් භාර
දුන්නෙ. ඒ වගේම අම්ම තාත්තා කවුද කියල දන්නෙ නැති තව දැරියක් ගෙනාවා,
ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් තුවාල ලබපු. ඇය ජපන් ජාතික දැරියක්. තවත්
ජපන් ජාතික මවක් හා දුවල දෙන්නෙක් එක්ක තමයි මේ දැරිය ගෙනත් තිබුණෙ.”
වෛද්‍ය අජිත් දන්තනාරායන පවසන්නේ ය. ඔහු ජාතික ළමා රෝහලේ වත්මන්
අධ්‍යක්ෂවරයා ය.
“දරුවන්ට හදිසි ප්‍රතිකාර දෙන අතරේ ඒ දරුවන්ගෙ දෙමව්පියන් සොයා ගැනීම
සඳහා පොලිසියටත්, ජපාන තානාපති කාර්යාලයටත් අවශ්‍ය තොරතුරුත් ලබා දුන්නා.”
ඔහු කියන්නේය.
අප මුලදී කී සිඟිත්තිය ලක්ෂිකාගේ අම්මාත් තාත්තාත් මේ ප්‍රහාරයෙන් බරපතළ
තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ පියවි සිහියක් නොමැති අවස්ථාවකදී ය. ඒ
නිසා ම සියතින් තම පණ වන් දැරිය අතහැරුණු වග ඔවුනට නිනව් නොවිණි. එහෙත්
ජාතික රෝහලේ ඇඳක් මත සිහි ලද වහා ඔවුනට සිහිවූයේ තම ආදරණීය දියණියයි.
තම සිඟිත්තිය කොහිදැයි අසමින් ඔවුහු රෝහල දෙවනත් කළහ. දේවස්ථානයට ගිය තම
නෑසියන්ට වූයේ කුමක්දැයි සොයා ඔවුන්ගේ ඥාතීන් ජාතික රෝහල වෙත දිව ආයේ ඒ
මොහොතේය. ලක්ෂිකා සිඟිත්තිය නොමැති වග දැනගත් වහාම ඔවුහු ළමා රෝහල වෙත දුව
ආහ. තම පවුලේ සියලු දෙනාගේ ආදරය සොරා ගත් පුංචි ලක්ෂිකා යළි ඔවුනට
හමුවූයේ එහිදී ය.
ඇය සේම ඇගේ දෙමාපියන් ද තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. ඒ නිසා පුංචි
ලක්ෂිකා ළමා රෝහලේ තනිවමය. එහෙත් බෝම්බයෙන් තමන් ලද තුවාලවල වේදනාවට වඩා,
ලක්ෂිකාගේ මව්පියන්ට සිය දියණියගේ තුවාල වේදනාව වැඩිය. තම සිරුරේ කකියන
වේදනාව දරාගනිමින් උදේ සවස ඇයගේ පියා රෝහල වෙත එන්නේ තම සිඟිත්තියගේ මුහුණ
දකින්නට ය.
“අම්මා තාත්තා නැතිව ළමා රෝහලට ආපු ජපන් දැරිය ජපන් තානාපති කාර්යාලයෙන්
ගෙන්වා ගත්තා. තාත්තා ආසිරි රෝහලේ ප්‍රතිකාර ගන්න බව දැන ගන්න ලැබුණා.
ඔහුට නම් ඒ තරම් තුවාල වෙලා නැහැ. ඒත් ඇයගේ අම්මා මේ ප්‍රහාරයෙන් තුවාල ලබා
ප්‍රතිකාර ගනිමින් ඉද්දි, පසුගියදා මිය ගිය බව දැන ගන්න ලැබුණා.” වෛද්‍ය
දන්තනාරායන
පවසන්නේ ය.
ඔහු පෙන්වා දුන් පරිදි, මේ ප්‍රහාරයෙන් තුවාල ලැබ ළමා රෝහලට ආ දරුවන්ගේ
ගණන විස්සකි. පිපිරුම වූ විසි එක් වෙනිදා උදෑසන නවයහමාරේ සිට ළමා රෝහලට ද
නිනව්වක් නොවීය. එකදිගට නැගෙන සයිරන් නළා හඬත්, තුවාල ලැබූ දරුවන්ගේ හා
නෑසියන්ගේ විලාපයෙනුත් ළමා රෝහල මොහොතකට අතුරුසිදුරු නැතිවිණි. ඉකුත්
අඟහරුවාදා (23) වන විට ඉන් තිදෙනෙක් තවමත් හදිසි ප්‍රතිකාර ඒකකයේත්, තවත්
පස් දෙනෙක් රෝහල් වාට්ටුවලත් ප්‍රතිකාර ගනිමින් සිටියහ.
ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දොරටුව අසලම ඇඳෙහි වැතිර හිඳින්නී,
තවමත් අවුරුදු පහක් වයසැති දිදුනි නිහංසා ය. ඇය උපත ලද්දේ, ඉතාලියේ ය.
එහෙත් සිය මව්පියනුත්, ආදරණීය සහෝදරයාත් සමඟින් ඇය මීට දෙමසකට පෙර ලංකාවට
ආයේ, මෙරට පාසලකට ඇතුළත් වීමේ සිහිනය සැබෑ කරගැන්මටය. පාස්කු ඉරිදා උදාසන ඈ
මීගමුව කටුවාපිටිය දේවස්ථානයට ගියේ සිය මවත්, සහෝදරයාත්, මිත්තණියත්
සමඟිනි.
එහෙත් මේ වෙද්දී ඇගේ මිත්තණියත්, එකම සහෝදරයාත් සදහටම ඇය හැර ගොසිනි. මව
දැඩි සේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. “මේ දැරිය
මීගමුව රෝහලෙන් අපිට මාරු කරල එවද්දි ඇයගෙ නාසයෙන් හා කටෙන් ලේ ගලමින්
තිබුණෙ. ඇයගෙ හිසට තමයි මේ ප්‍රහාරයෙන් තුවාල සිදුවෙලා තිබුණෙ. ඊට අමතරව
පෙණහැලිවලටත් තුවාල සිදුවෙලා. දැන් නම් ඇය ටිකක් යථා තත්ත්වයට පත්වෙලා”යැයි
වෛද්‍ය දන්තනාරායන කියයි.
කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පුංචි බිඟුනි සිටියේ
සිය මිත්තණිය අසලම හිඳ පූජාවට සහභාගි වෙමිනි. ප්‍රහාරයට ලක්වීමෙන්
මිත්තණියගේ දෙපා ගැලවී ගියේ බිඟුනි ඉදිරියේම ය. බෝම්බයේ කෑලි ගැලවී ඇඟමත
වැටෙද්දීම ඒ අසලම සිටි බිඟුනිගේ මව බිඟුනි දෝතට ගෙන එතැනින් දුවවිත් ඇත්තේ
දෙපා ගැලවී බිම ඇද වැටුණු තම මෑණියන්ගේම සිරුර උඩිනි. තවමත් සවැනි වියේ
පසුවන බිඟුනි දැන් හිඳින්නේ ළමා රෝහලේ ඇඳක් මතය. ඇගේ මෑණියන් ජාතික
රෝහලේය. තුවාල වූ අම්මාත්, මියගිය මිත්තණියත් ගැන බලන්නට ගොස් ඇති නිසා ඈ
ළඟ තනි රකින්නට ඇගේ පියාට ද ඉස්පාසුවක් නොහේ. ඉඳින් ඈ සිටින්නේ ඇයගේ ඥාති
මිත්තණියක සමගිනි.
සිද්ධියෙන් තුවාල ලැබූ හංසිකා දැරිය ළඟ සිටියේ ඇගේ මිත්තණියයි. “මම මේ
සිද්ධිය වෙද්දි හිටියෙ හැටන් අපේ ගමේ. මගේ ලොකු පුතාගෙ පවුල තමයි මේ
සිද්ධියට මුහුණ දුන්නෙ. ඒ හැමෝටම තුවාලයි, මේ දුවගෙ කකුල පිච්චිලා, පුතාගෙ
ඔළුවටයි, කකුලටයි දෙකටම තුවාල වෙලා. ඒත් එයාම තමයි දුවව අරගෙන ළමා රෝහලට
ඇවිත් තියෙන්නෙ. මම පහුවදා මේ රෝහලට එනකම්ම එයා දුව ළඟට වෙලා හිටියා තුවාලෙ
පිටින්ම” හංසිකාගේ මිත්තණිය එන්. අන්තෝනි අම්මා පවසන්නේ දෑසින් බේරෙන
කඳුළු වාවාගත නොහැකිවය.
ඇගේ මිණිපිරිය හංසිකාය. හංසිකාගේ වයස තවමත් අවුරුදු අටකි. ඇගේ අම්මාත්,
තාත්තාත්, මාමා සහ නැන්දාත් මේ අනතුරට මුහුණ පෑහ. දැන් ඇයගේ නැන්දණිය මේ
ලෝකයේ නැත.
ළමා රෝහල පුරාම ඇත්තේ, එවැනි කඳුළු කතා ය. එහෙත් ඒ කඳුළු කතා අසා, අනේ
අපොයි කියා සුසුමක් හෙළනවාට වඩා වැඩි වගකීමක් අප සියලු දෙනාට ඇත. ඒ යළි
මෙවැන්නක් අප දෑස් ඉදිරියේ නොවන්නට වග බලා ගැන්මය. “අපි පසුගිය යුද සමයේදි
මේ වගේ ඛිෙදවාචක ගණනාවකට මුහුණ දුන්නා.
සුනාමියෙදිත් අපිට මේ වගේ ඛිෙදජනක අවස්ථාවන්ට මුහුණ දෙන්න සිදුවුණා. මේ
හැම අවස්ථාවකදිම අපි කටයුතු කරන්නෙ කිසිදු ජාති ආගම් භේදයක් නොසලකමිනුයි.
ප්‍රතිකාර ලබා ගැනීමට මෙතැනට එන හැමෝම අපිට එකයි. ඒත් අපි කියන්නේ යළි
මෙවැනි ඛිෙදජනක දේ නොවන්නට අපි සියලු දෙනා එක් විය යුතු බවයි” රෝහල්
අධ්‍යක්ෂ අජිත් දන්තනාරායන පවසන්නේ ය.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන
ගයාත්‍රි ගීගනආරච්චි
බෝම්බවලට බියවූ දරුවන්ගේ හිත් ගැනත් හිතමු
- අඬනවා නම් ඇති තරම් අඬන්න දෙන්න
- රූපවාහිනියෙන් ඈත් කර තබන්න
- බොරු නොකියා ඇත්තම කියන්න
එදින නිරෝමිත් සැමියාත් පුංචි පුතුත් පවුලේ සහෝදර සහෝදරියනුත් ඔවුන්ගේ
දරුවනුත් සිටියේ චාරිකාවකට එක්වීය. පාසල් නිවාඩු බැවින් හඟුරන්කෙත
නිරෝමිලාගේ මහගෙදර දින කිහිපයක් සතුටින් ගත කිරීම ඔවුන්ගේ අරමුණ විය.
එහෙත් ඒ සති අන්තයේ ඉරිදාව එළැඹුණේ විවේකයෙන් විනෝදයෙන් ගත කළ සාමකාමී
ජන ජීවිතය දෙදරා යන ඛිෙදවාචක පෙළක් සමගිනි. නිරෝමිගේ සැමියා ආරක්ෂක අංශයේ
රැකියාවක නිරත වූ බැවින් පිරිසට චාරිකාව අතරමැද නවතා නැවත කොළඹ ඒමට
සිදුවිය.
කලබල අස්සේ ඇඳිරි නීතියද පැනවිණි. ඔවුන්ට කොළඹට පැමිණීමට සිදුවූයේ විශාල
වෙහෙසක් දරමිනි. ඒ සියලු දෙනාගේ හිත්වල බෝම්බ ප්‍රහාර ගැන කම්පාවක් විය.
එහෙත් ඒ කම්පනය වැඩිපුරම දැනුණේ පිරිස අතර සිටි කුඩා දරුවන්ටය.
අම්මේ අපිත් මැරෙයිද පාරෙ යද්දී? එක් දියණියක සිය මවගෙන් විමසුවේ බියපත්
දෙනතෛහි කඳුළු පුරවාගෙනය. වාහනයේ ගුවන් විදුලියෙන් නිරතුරුව සිදුව ඇති
ඛිෙදවාචක හා මරණ පිළිබඳව වාර්තා කෙරිණි.
බෝම්බයක් ගැහුවම අපි පිච්චිලා යනවද අම්මේ නිරෝමිගේ සිඟිති පුතු
විමසුවේය. ඒ පවුලේ පමණක් නොව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුළු
රටේම නොදරුවන් සිටින දෙමාපියන්ට මුහුණ දෙන්නට වූයේ මෙවැනි අත්දැකීම්වලටය.
2009 වසරෙන් පසු ඉපදුණු පරම්පරාවට යුද්ධය එතරම් හුරුපුරුදු වචනයක් වූවේ
නැත. බෝම්බ ප්‍රහාර, මරණ, තුවාල ආදිය ගැන ඔවුන්ට අත්දැකීම් අඩුවූයේ ලංකාවේ
පැවැති තිස් අවුරුදු යුද්ධය ඔවුන්ට තේරෙන වයස වන විට නිමා වී තිබූ නිසාය.
කිරිබත්ගොඩ මූලික රෝහලේ ළමා මානසික විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පෙන්වා
දෙනුයේ ලංකාවේ මතුනොව ලොව බොහෝ රටවල උද්ගත වූ යුද ගැටුම් හා ත්‍රස්ත
ප්‍රහාර හමුවේ ළමා පරපුර බරපතළ කායික මානසික ගැටලුවලට මුහුණ දී ඇති බවය.
ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ එහි දරුවන් විශාල
සංකූලතාවලට ගොදුරු වුණා. නරක හීන පේන්න ගත්තා. තනියම එළියට යන්න බය වුණා.
නිතරම අම්මලා එක්ක ඉන්න ඕන වුණා. මේ තත්ත්වය තමයි ලංකාවේත් දැන් ඇතිව
තිබෙන්නේ. දෙවැනි කාරණය රටේ ප්‍රධාන ධාරාවේ බහුතරයක් මාධ්‍ය පිපිරීම්
සිදුවන අයුරු, එහි හානිය, මෘත දේහ, ඒ අයගේ පෙර ඡායාරූප, අඬන වැළපෙන ළතෝනි
දෙන ඥාතීන් දිගින් දිගටම පෙන්වීම තුළ ඇතිකරන බලපෑම. නමුත් ඇමෙරිකාවේ 9-11
ප්‍රහාරයේ 2000කට අධික පිරිසක් මියගියා.
එහි එක මළ සිරුරක්වත් අපි මාධ්‍යයෙන් දැක්කේ නෑ. ඒ පවුල්වල පෞද්ගලිකත්වය
හෙළි කරනවා දැක්කේ නෑ. නමුත් අපේ මාධ්‍ය දිගින් දිගටම - දිගින් දිගටම මේවා
උද්වේගකාරී ලෙස ප්‍රචාරය කළා. මේ හැසිරීම කුඩා දරුවන්ගේ මනසට දැඩිව බලපෑම්
කර තිබෙනවා. එහි අරුත සිද්ධිය වසන් කිරීම නොවෙයි ආචාරධර්මීයව පෙන්නුම්
කිරීමයි. මේ දිනවල දරුවන් හැකිතාක් මාධ්‍යයෙන් ඈත් කර තැබිම උචිත බව පෙනෙන
තරමට මාධ්‍යයේ හැසිරීම නින්දිතයි. විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක පෙන්වා
දෙන්නේය.
ඇතැම් ළමයින්ගේ අම්මා නැතිවෙලා, නැත්නම් තාත්තා නැතිවෙලා. සමහර තැන්වල
දෙන්නාම නැතිවෙලා. සමහරවිට යාළුවා නැතිවෙලා. මාධ්‍ය ඔස්සේ නැවත නැවතත් මේ
සිදුවීම් දකිද්දී කුඩා දරුවන් විශාල සංකූලතාවන්ට ගොදුරු වෙනවා. මැරෙයි කියන
බය ඇතිවීම, හිස කැක්කුම්, තමන්ට කිසිවකු නැත යන හැඟීම, පාසල් යාමට ඇතිවන
බිය ඔවුන් පෙළෙන මූලික ලක්ෂණ විය හැකියි. මේක මාධ්‍ය ඔස්සේ මේ සිදුවීම්
නරඹන, දෙමාපියන්ගෙන් අහන සෙසු දරුවන්ටත් ඇතිවිය හැකි තත්ත්වයක්.
ඊට යෙදිය හැකි ප්‍රතිකර්මය වෛද්‍යවරයා මෙසේ යෝජනා කරයි. දරුවන් සමග ඒ
පිළිබඳව විවෘතව කතා කිරීම, තමන්ගේ කිසිවකු නැති වුණා නම් ඒ ගැන තේරුම්
කරමින් අවබෝධ කිරීම, තවත් විශාල පිරිසකට අහිමි වීම් වී ඇති බව තේරුම් කිරීම
ආදී වශයෙන් යථා ස්වභාවය පෙන්නුම් කිරීම ඉතා වැදගත්. විවිධ බොරු කියා
දරුවන් රැවටීමට ලක්කිරීම නොකළ යුතුමයි. මියගිය කෙනාගේ හොඳ ගතිගුණ, ආදරයෙන්
හිටිහැටි කතා කිරීමේ වරදක් නෑ. දරුවා අඬනවා නම් එය කිසිසේත් නොවැළැක්විය
යුතුයි. දරුවාට රැකවරණය දෙමින් රිසි සේ හඬන්නට ඉඩ දීම ඉතා වැදගත් හෙතෙම
පෙන්වා දෙයි.
ඒ වගේම දරුවා කම්පනය හේතුවෙන් ඇතිවන දුක, තරහව ආදී හැඟීම්, හුදකලා වීමට
තැත් දැරීම, අධ්‍යාපන කටයුතු මගහැරීම ආදී දුකෙහි කල් පවතින ලක්ෂණවලට
ගොදුරුවීමට ඉඩ තිබෙනවා. මේක කාලයක් ගතවීමේදී විශාදය දක්වා යා හැකියි. එසේම
දරුවන් තරුණ වයසට ආසන්න නම් මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය වෙත පවා යොමු විය
හැකියි. ඒ නිසා දුක නැති කිරීමේ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් ඇති කිරීම
සඳහා රජය පියවර ගත යුතුයි. 9-11 ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකාව මානසික
සෞඛ්‍ය උදෙසා අයවැයෙන් විශාල මුදලක් වෙන් කළේ මේ නිසයි. අපේ පාලකයන් එහෙම
පියවර ගනීවි යැයි විශ්වාසයක් නෑ. නමුත් අපි පෙන්වා දිය යුතුයි එය සිදුවිය
යුතු බව. වෛද්‍යවරයා අවධාරණය කරයි.
එසේම ඒ ඇති වූ භීතිය නොපවසමින් දරුවා කාලයක් පීඩිතව සිටිය හැකිය. ඒ බව
හඳුනාගෙන මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමද අත්‍යවශ්‍ය කරුණක් බව හෙතෙම
පෙන්වා දෙයි.
විශේෂඥ ළමා මනෝ වෛද්‍ය එන්. කුමානායක
මිහිරාන් කරුණාරත්න
මේ දරුවන් කොහින්දෝ... පල්ලි ළඟින් ඇහින්දෝ...
Reviewed by CHAA MEDIA
on
April 27, 2019
Rating:
No comments: