Seo Services

ජීවන රටාවම අවුල් කරවන ගැස්ට්‍රයිටිස් රෝගයට ප්‍රතිකාර තිබෙනවා

අද සමාජයේ බාල, මහලු, තරුණ කිසිදු භේදයකින් තොරව බහුතරයක් පෙළෙන, ඉතාම පීඩාකාරී රෝගයක් ලෙස අම්ලපිත්ත (Gastritis) රෝගය හැඳින්විය හැක. මෙය ඉතාම සුළු රෝගයක් ලෙස බොහෝ දෙනකු සිතා සිටියද  සැබවින්ම මෙය මුළු ශරීරයටම ඉතාම අහිතකර ලෙස බලපාන කෙනෙකුගේ මුළු ජීවන රටාවම එකම අවුල් ජාලයක් බවට පත්කරවන්නට සමත් වූවකි. විශේෂයෙන් පාසල් දරුවන් අතර දැන් දැන් වැඩිපුර පැතිරයමින් තිබෙන මෙම රෝගී තත්ත්වය නිසා ඒ අයගේ අධ්‍යාපන කටයුතු පවා කඩාකප්පල් වන තරමට තත්ත්වය ඔඩුදුවා තිබේ.
තම ජීවන පැවැත්ම වඩාත් සුවදායි කර ගැනීමේ ච්ෙතනාවෙන් යුතුව අප ලබා ගන්නා ආහාර වල වැරදි විහරණ අම්ලපිත්ත රෝගයට ප්‍රබල ලෙස හේතුවී තිබේ. බඩ පපුව දැවිල්ල, ඔක්කාරය, ක්ලාන්තය වැනි සුළු රෝගී තත්ත්වයන්ගෙන් ආරම්භ වන මෙයට නිසි ප්‍රතිකාර පද්ධතියක් නොලැබිම, ආහාර මාර්ග පද්ධතියේ පිළිකා ඇතිවීමට පවා හේතුවිය හැකි බව බොහෝ දෙනා නොසිතන්නකි.
ආයුර්වේදයට අනුව නම් ප්‍රතිවිරුද්ධ ගුණ සහිත ආහාර ගැනීම, පිටි සහිත ආහාර ලබාගැනීම, දූෂිත ආහාර ගැනීම වැඩිපුර ආම්ලික ආහාර වර්ග භාවිතය ආම්ලික ජලය පානය කිරීම මද්‍යසාර වර්ග පානයට ඇබ්බැහි වීම, වරින්වර ආහාර ගැනීමේ වැරදි පුරුදු එසේම සමහර රෝග වලට දීර්ඝකාලීනව ලබා ගන්නා පෙති කරල් වර්ග සේම අද පවතින මානසික පීඩන තත්ත්වයන්ද මෙතරම් අමිල පිත්ත රෝගීන් වැඩි වීමට හේතුවී තිබේ.
ආහාර දිරවීමේ ගැටලු, ක්ලාන්ත ගති, ඔක්කාර, තිත්ත සහ ඇඹුල් රස  සහිත ශ්‍රාවයන් උගුරට ඒම, අප්‍රාණික බව, උගුර සහ පපු ප්‍රදේශයේ ඇතිවන දැවිලි ගති, ආහාර අරුචිය, කුසගිනි ඇතත් නැතත් ආහාර ප්‍රමාණවත් පරිදි ගැනීමට නොහැකි බව, කහ, කොළ, කළු හෝ මද රත් පැහැයට හුරු වමනය ඇතිවීම, දැඩිව දැනෙන පිපාසය, සිහිය නැතිවීම, සිහි විකල්වීම, දුර්ගන්ධවත් මල සහ ඉතාම දුර්ගන්ධවත් අධෝවාතය පිටවීම, අධික ලෙස දහදිය දැමීම, ඒවාද දුර්ගන්ධයෙන් යුතුවීම, ශරීරය කහ පාටට හැරීම, ඇඟපතේ දැනෙන උණ ගතිය, ශරීරය නලියන්නාක් බඳු වීම ආදී රෝග ලක්ෂණ සමුදායක් මෙම රෝගය හා බැඳී පවතී. මුල් අවස්ථාවේදී මේ රෝගයට නිසි ප්‍රතිකාර නොලැබිම නිසා ආහාර මාර්ගය තුවාලවීම, දිගින් දිගටම එම තුවාල ආමාශයික යුෂ හා එහි එන්සයිම වල ගැටීම නිසා හටගන්නා අධික වේදනාව, තව දුරටත් එම තුවාල වලට හානි සිදුවීම, ආමාශයෙන් රුධිරය පිටවීම, ‍ලේ වහනය, සමහරවිට ‍ලේ වමනය, බඩඑලිය සමග ‍ලේ යාම, ඒ නිසාම ශරීරය නීරක්තියට පත්වීම සහ මේ හේතුකරගෙන අවසානයේ ආමාශගත පිළිකා හටගැනීම දක්වා තත්ත්වය වර්ධනය විය හැකිය.
අමිලපිත්ත රෝගය සඳහා කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාර විධි බටහිර ප්‍රතිකාර විධි වලට හාත්පසින්ම වෙනස්ය. ආයුර්වේදයේදී මේ සඳහා අනුගමනය කරන චිකිත්සා විධිය නම් ආහාර ජීර්ණය වේගවත් කරවීම සහ හැකි ඉක්මනින් එම ජීර්ණය වූ ආහාර ආමාශයෙන් ඉවත් කරවීමේ ක්‍රමයයි. එම ක්‍රම හැඳින්වෙන්නේ අග්නි වර්ධනය සහ විරෝචනය යනුවෙනි. ජීර්ණ ක්‍රියාවලිය අවසාන වූ විට ආහාර ආමාශයෙන් ඉවත් වන නිසා අමිල ශ්‍රාවය වීම ඉබේම නවතියි. එබැවින් ආමාශ බිත්තිවලට හානි සිදුවීම අවම වෙයි. ආහාර මාර්ග ගත තුවාල සුවකිරීම සඳහා සුවිශේෂි වූ ඖෂධ වර්ගද මෙහිදී භාවිතා කෙරේ. එසේම ආහාර ජීර්ණ ශක්තිය වැඩි කිරීම සඳහා භාවිතා කරන්නේ ආම්ලික ගුණ නොමැති ඖෂධ පමණකි. එසේම විරේචනය සඳහාද සිසිල් ගුණ වලින් යුතු ඖෂධ භාවිතා කෙරේ. මේ ආකාරයට ඖෂධ ලබා ගැනීමේදී රෝගියාගේ ආහාර රුචියද වැඩිවෙයි. එබැවින් ශරීරය අප්‍රාණික වීම වැනි රෝග ලක්ෂණ ඉක්මනින් පහව යයි. එසේම මේ සඳහා යොදා ගන්නා ඖෂධ වර්ග වල ක්‍රියාකාරිත්වය නිසා ආමාශගත අහිතකර බැක්ටීරියා උවදුරු දුරුවීමටද හේතුවෙයි. නිසි ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් හරහා ඉතා උග්‍ර තත්ත්වයේ පසුවන අමිලපිත්ත රෝගියෙකුට වුවද සති 2-3කින් රෝගය බොහෝ දුරට සුවපත් කරගත හැකිවෙයි. මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා වැරදි ආහාර පුරුදු වලින් අත්මිදීම අතිශයින් වැදගත්ය. එසේම මේ රෝගයෙන් ඉක්මන් සුවපත් වීමක් සඳහා උදේ හිස්බඩ කිරි වර්ග පානයෙන් වැළකීම, මද්‍යසාර පානයෙන් වැළකීම, අධික මිරිස් දමා සකසන ලද ආහාර වලින් වැළකීම, කොත්තු රොටි, ඇස්ප්‍රින්, වේදනා නාශක වර්ග වලින් වැළකීමද කළ යුතුය. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව අතරමග වරින්වර බිස්කට් වර්ග, බැදුම්, කෙටි ආහාර වර්ග ලබා ගැනීමෙන්ද වළකින්න. සුදුලූනු සහ අමු ‍පොල් යෙදූ සම්බෝල වලින්ද වැළකිය හැකි නම් වඩාත් ගුණදායකය. එසේම තෙල් අඩංගු සෑම ආහාර වර්ගයකින්ම උදර දැවිල්ල වැඩිකරන බවද සිහියේ තබා ගැනීම අතිශයින් වැදගත්ය.
උපදෙස් වළපනේ නීල්දණ්ඩාහීන්න  ග්‍රාමීය ආයුර්වේද රෝහ‍ලේ වෛද්‍ය තරංග සඳකැලුම් වීරතුංග
සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න

උපුටා ගැනීම - ලක්බිම වෙබ් පුවතින්
ජීවන රටාවම අවුල් කරවන ගැස්ට්‍රයිටිස් රෝගයට ප්‍රතිකාර තිබෙනවා ජීවන රටාවම අවුල් කරවන ගැස්ට්‍රයිටිස් රෝගයට ප්‍රතිකාර තිබෙනවා Reviewed by CHAA MEDIA on January 02, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.