Seo Services

ඇතුවත් බැරි නැතුවත් බැරි අපේ හැඟිම් (II කොටස)

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
මනස හැසිරීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තවදුරටත් අපි සොයා බලමු. සාර්ථක ජීවිතයකට හැඟීම් පාලනය තරම් වැදගත් වෙනත් කිසිම ව්‍යායාමයක් නැති තරම්. බුදුන් වහන්සේගේ දර්ශනයෙහි සම්මා සති (Samma sathiya) සහ සම්මා සමාධි (Samma Samadhi) යන පුහුණු කළ යුතු ව්‍යායාමයන්හි පවා පෙන්වා දෙන්නේ මානසික ඒකාග්‍රතාවයේ ඇති වැදගත්කමයි. මනස සන්සුන් භාවයට පත් කරන ව්‍යායාමවලට අප හුරුවිය යුත්තේ කෙසේදැයි සොයා බැලීමට මාර්ෂා ලෙනිහෑන්ස් නැමති කීර්තිමත් මනෝ විද්‍යාඥවරියගේ සොයාගැනීම්වලට තවදුරටත් ඇතුළු වී බලමු.
මෙහිදී “හැඟීම් පාලනය කිරීමේ ක්‍රම සහ විධි” හඳුනා ගැනීමට ප්‍රථමව යම් සිද්ධියකදී අපගේ මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳ උදාහරණ මගින් සොයා බලමු.
මාර්ෂා ලෙනිහෑන්ස් මෙහෙම කියනවා. ඒ අපි සිද්ධියකට මුහුණ දීමේදී අපගේ මනස අවස්ථා තුනකට ක්‍රියා කළ හැකි බවයි. මේ අවස්ථා නම්
1. හැඟීම්බර මනස (Emotional mind)
2. තාර්කික මනස (Logical mind)
3. බුද්ධිමය මනස (Wise mind)
මනසේ අවධි හඳුනා ගනිමු.
යම් ගැටලු සහගත සිද්ධියකට මුහුණ දීමේදී ක්ෂණිකවම අපගේ මනස යොමු වන්නේ හැඟීම් වලටය. මොනවද මේ හැඟීම්? බය, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව, දෙගිඩියාව හෝ සතුට යනාදී වශයෙනි.
මෙසේ ඇතිවන හැඟීම් අපට බොහෝ විට හානිකර විය හැකිය. මෙසේ ඇතිවන හැඟීම් සමඟ අප ක්‍රියා කරන ආකාරය තමන්ට හෝ තමා අවට පරිසරයට හානිකර විය හැකිය. එය තමන්ගේ මුළු ජීවිතයම අවුල් කරන සංධිස්ථානයක් විය හැකිය. අපි මෙය උදාහරණ ඇසුරින් බලමු.
නිර්මලාගේ වයස අවුරුදු 26කි. ඇය රාජ්‍ය ආයතනයක කළමනාකාරී තනතුරකට පත්වී දැනට මාස 6කි. ක්ෂණිකව තරහ යාම හා කෝපයට පත්වීම ඇගේ ජීවිතයේ තිබූ ලොකුම දුර්වලකමකි. මේ පත්වීම ඇගේ ප්‍රථම රැකියාව වන අතර අවාසනාවකට එක් සිද්ධියක් නිසා ඇය වැඩ තහනමකට ලක් විය. ඒ සිද්ධිය මෙසේය.
පසුගිය සතිය තුළ ඇය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළුණු බැවින් පැයක් පමා වී කාර්යාලයට ගොස් තිබුණි. මේ ගැන උරණ වූ ඇගේ ආයතන ප්‍රධානියා ඇයට දැඩි ලෙස දොස් පවරා තිබුණි. ඇය තම ප්‍රධානියා සමඟ වාදයකටද පැටළුණි. ඇය මෙසේ ද තම ප්‍රධානියාට කියා තිබුණි. “මට මේ මඟුල් රස්සාව වැඩක් නෑ. මම උපාධිධාරිනියක්. මම කැමති නෑ මෙතන ඉන්න.” මෙම සිදුවීමත් සමඟ ඇයගේ රැකියාව ද නැති විය. ඉන්පසු ඇගෙන් මේ ගැන විමසූ විට නිර්මලා මේ සිද්ධිය මෙසේ විස්තර කළාය. “අපෝ මම එතනට කැමති නෑ. වැඩත් වැඩියි. හරියටම වෙලාවට වැඩට යන්නත් ඕන. මේක මහ කරැමයක්. මම හොඳට ඉගෙනගෙන තියෙන්නෙ. ඕකට වැඩිය හොඳ රස්සාවක් මට හොයාගන්න පුළුවන්. හැමදේම සිදුවෙන්නෙ හොඳටනෙ.”
මාර්ෂා ලෙනිහෑන්ස්ට අනුව නිර්මලාගේ ඉහත ප්‍රකාශය අයත් වන්නේ තාර්ජක මනසටයි. (Logical mind) නමුත් මාර්ෂා ලෙනිහෑන්ස් කියන්නෙ තාර්කික මනස හිත හදාගැනීමට ඉවහල් වුවත් එයත් මනසේ අසාර්ථක අවධියක් බවයි. මෙහිදී නිර්මලාට ඇයගේ රැකියාව ක්ෂණිකව නැති වීමෙන් ඇතිවී තිබෙන පාඩුව පෙනෙන්නේ නැත. ඇයට මෙය තේරුම් ගැනීමට යම් කාලයක් ගතවනු ඇත. මෙසේ කාලයක් ගෙවී ගියේය. රැකියාවක් නොමැතිව නිර්මලා දුකෙන් සහ පීඩනයෙන් කාලය ගෙවන්නීය.
මාර්ෂා ලෙනිහෑන්ස්ට අනුව හැඟීම් බර සහ තාර්කික යන මනසේ අවධි දෙකම අසාර්ථක අවස්ථා දෙකක් ලෙස හඳුන්වා දී ඇත. ඇයට අනුව සාර්ථක ලෙස ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දීමට “බුද්ධිමය මනස” ව්‍යායාම තුළින් අප පුරුදු කළ යුතුය.
එදිනෙදා ජීවිතයේ දී වැඩිපුරම අපගේ සම්බන්ධතාවයන් තිබෙනුයේ මිනිසුන් සමඟය. ගෙදර පරිසරය, කාර්යාල පරිසරය, බාහිර පරිසරය යන මේ සියලු තැනකදීම සාකච්ඡා නොකර, කතා නොකර, හැඟීම් ප්‍රකාශ නොකර යහපත් සම්බන්ධතාවයක් පවත්වාගත නොහැක. මාර්ෂා ලෙනිහෑන්ස් නැමති මනෝ විද්‍යාඥවරිය පුද්ගල සබඳතා දියුණු කර ගැනීමේ අපූරු ක්‍රමවේද රාශියක් හඳුන්වා දී තිබේ. ඉන් ඉතාම වැදගත් ක්‍රමවේදය නම් “මනස සන්සුන්ව තබාගැනීම”ට (Mindfulness) ඔබගේ මනස පුරුදු සහ පුහුණු කිරීමයි. බුදුන් වහන්සේ සමථ ඉරියාපත නම් වූ ක්‍රමවේදය තුළද ඔබට දේශනා කළේ මානසික සන්සුන්භාවයේ ඇති වැදගත්කමයි. සන්සුන් නොවූ මනස ඉතා පහසුවෙන් හැඟීම්වලට බර වේ. හැඟීම්බර මනස ඉතා පහසුවෙන් විනිශ්චයට ගොදුරු වේ. විනිශ්චය යනු ඔබට ඇති කරන ආතතියයි. අනාගතය පිළිබඳ හෝ අතීතය පිළිබඳ විනිශ්චයවලට අපගේ මනස ඇතුළු වේ. අනාගතය පිළිබඳ ඔබට ඇතිවන විනිශ්චය හැඟීම් සමඟ මුසු වී මානසික ආතතියක් නිර්මාණය කරන අතර මෙම ආතතිය නිසා ඔබේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිව මනස ලෙඩ වේ. අපි මෙය උදාහරණයකින් බලමු.
සුපුන් තව සුමාන දෙකකින් උසස් පෙළ විභාගයට මුහුණදෙන දරුවෙකි. පාඩම් කිරීම හැර වෙනත් කිසිම ලෝකයක් ඔහුට තිබුණේ නැත. 80෴කට වඩා පාඩම් කටයුතුද ඔහු දැන් අවසන් කොට ඇත. නමුත් දැන් ඔහු තව සති දෙකකින් පැවැත්වෙන විභාගයට බිය වී විභාගය නොලියා සිටීමට තීරණය කර ඇත. ඔහුගේ භීතිය සමඟ හිසේ කැක්කුම, කොන්දෙ කැක්කුම, නින්ද නොයාම වැනි ලක්ෂණ ද මතුවී ඇත. මේ භීතියට හේතුව ඔහුගේ වැරදි විනිශ්චයයි. ඔහු කල්පනා කරනුයේ 100෴ විෂය නිර්දේශ අවසන් නොකර විභාගයෙන් සමත් විය නොහැකි බවයි. එනම් සුපුන්ගේ මානසික සන්සුන්භාවය නැති වී ගොස් අවුල් වී ඇති බව පෙනේ.
මාර්ෂා ලෙනිහෑන්ස්ට අනුව ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දීමේදී ඒවා සාර්ථකව ජය ගැනීමට මානසික සන්සුන්භාවය (Mindfulness) පුරුදු කරන ව්‍යායාම ජීවිතයට ඇතුළු කරගත යුතුය. මේවා මොනවාදැයි බලමු.
ඔබට පුහුණු කළ හැකි මනස සන්සුන් කරන ව්‍යායාම
බෞද්ධ දර්ශනය අනුව මානසික සන්සුන්භාවය වූ කලී ඔබගේ සිහිය, අවධානය, සතිපට්ඨානය හෙවත් සිහිකල්පනාව මේ මොහොත තුළ තබාගැනීමයි. මෙහි එන සන්සුන් බව වූ කලී අපගේ සිතුවිලි හෝ හැඟීම් බලයෙන් යටපත් කිරීම නම් නොවේ. නූතන මනෝ විද්‍යාව තුළ මනස සන්සුන් කර ගැනීමේ ඇති වැදගත්කම ‘හර්බට් බෙන්සන් (1939), ජෝන් කබාඩ්සින්ග් (1944) සහ රිචඩ් ජේ ඩේවිඩ්සන් (1956) යන විද්‍යාඥයන් විසින් සමීක්ෂණ ආශ්‍රයෙන් තහවුරු කර ඇත. මෙම ව්‍යායාම නිසි ලෙස පුහුණු කිරීමෙන් ඔබට මානසික අවපීඩනය, ආතතිය, මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම්, කල් පවතින වේදනාවන්, නින්ද නොයාම වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට විශාල පිටුවහලක් වනු ඇත.
පළමු ව්‍යායාමය
කොළයක් සහ පෑනක් ගන්න. ගෙවී ගිය මිනිත්තු 10 තුළ ඔබට ඇතිවූ අශුභවාදී හැඟීම් පහක් හඳුනා ගන්න. හැඟීමට අනුරූප සිතුවිල්ල ලියන්න.
හැඟීම                    සිතුවිල්ල
1. තරහ                  මට අම්මා සල්ලි දුන්නෙ නෑ.
2. ඊර්ෂ්‍යාව             නැන්දම්මා මගේ ස්වාමියා සමඟ හුඟක් වෙලා කතා කරමින් හිටියා.
දෙවැනි ව්‍යායාමය
පහසුවෙන් වාඩිවෙන්න. ඇස්දෙක පියාගන්න. අවට ඇසෙන ශබ්ද ගැන පමණක් සිත යොමු කරන්න. විනාඩි පහක් මෙය කරන්න. අවසන් වූ විට කොළ කෑල්ලක් ගෙන ඔබට ඇසුණු ශබ්ද වෙන වෙනම ලියන්න.
තුන්වැනි ව්‍යායාමය
පහසුවෙන් ඉඳගන්න. ඇස්දෙක පියාගන්න. ඔබේ වම් අත උදරය උඩින් තබන්න. නහයෙන් හෙමින් හුස්ම ගන්න. හුස්ම ඇතුළට ගෙන උදරය තුළට පුරවන්න. හුස්ම ගත්තාටත් වඩා හෙමින් හුස්ම නාසය තුළින් යවන්න. මෙය විනාඩි 10 බැගින් දවසට දෙසරයක් කරන්න.
හතරවැනි ව්‍යායාමය
ස්නානය සඳහා නාන කාමරයට යන්න. ඔබගේ ස්නානය අවසන් වන තෙක් නෑම පිළිබඳ සිහියෙන් සිටින්න. ඔබ ස්නානය සඳහා ගත කරන්නේ විනාඩි 10ක් නම් සම්පූර්ණයෙන්ම එම සිහියෙන් සිටින්න.

  • කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක
ඇතුවත් බැරි නැතුවත් බැරි අපේ හැඟිම් (II කොටස) ඇතුවත් බැරි නැතුවත් බැරි අපේ හැඟිම් (II කොටස) Reviewed by CHAA MEDIA on July 13, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.