Seo Services

විපත් පසුපස එන මතකේ මායාවන්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
විපතක් හෝ ව්‍යසනයක් යනු ඕනෑම පුද්ගලයකු නොදැනුවත්ව හෝ දැනුවත්ව එන මානසික හෝ ශරීරික කම්පනයකි. දුක යනුවෙන් (Grief) අදහස් වෙන්නෙ යම් විපතකට පසු අපෙන් මනස සහ ශරීරය දක්වන සාමාන්‍ය ප්‍රතික්‍රියාවයි. මේ මානසික රෝගයක් නොවේ. මෙම ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් මාස 6ක් හෝ 12ක් තිබී ක්‍රමානුකූලව නැති වී යයි. එය ඖෂධ ගත යුතු ප්‍රතිකාර තත්ත්වයක් නොවේ. ඔබ තුළ ප්‍රශ්නයකට හෝ ගැටළුවකට මුහුණ දීමට ඇති හැකියාව සමඟ දුක නැමති ප්‍රතික්‍රියාව ක්‍රම ක්‍රමයෙන් නිවී යාමේ කාලය තීරණය කරයි.
ඔබ මානසික රෝගයකින් පෙලෙන්නෙද?
උදව් සහ උපකාර ගැනීමේ පරිසරයක ඔබ සිටින්නේ ද?
අන් අය ඔබගේ ගැටලුව දෙස බලන්නේ සහ උදව් වන්නේ කෙසේද යන කරැණු මත දුක නිවීයාමේ කාලය තීරණය වෙයි. දුක නැමති ප්‍රතික්‍රියාව (Grief Reaction) පිළිබඳව පසුගිය සතියක පළවූ ලිපියකි. ඒ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. ව්‍යසනයකින් හෝ කම්පනයකින් පසුව ඇති වන දුක නිසි ලෙස නිවී නොගිය හොත් ඔබ නොයෙකුත් මානසික රෝගවලට ගොදුරු විය හැකි බව මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත. මෙහිදී ප්‍රධාන මානසික රෝගී තත්ත්වයන් තුනක් පිළිබඳව අපි විස්තර ඇතිව බලමු.
1. කල් පවතින දුක (Pathological Grief)
2. පශ්චාත් ව්‍යසන ක්ලෙමනය (Post – Traumatic Stress Disaster)
3. මානසික අවපීඩනය (Mental Depression)
කල් පවතින දුක (Chronic Grief)
අපට ඇතිවන දැඩි දුක හෝ කම්පනය නිසි ලෙස කළමණාකරනය කර ගැනීමට නොහැකි වුණොත් එය රෝගී තත්ත්වයකට පෙරලේ. මෙම කල්පවතින දුක පුද්ගලයකුට ඇති වුණු විට එය පහත ලක්ෂණවලින් හඳුනාගත හැක.
දුක නිවීමට යන කාලය (Grief Time)
සාමාන්‍යයෙන් ඇති වන දැඩි දුක මාස 6ක් හෝ 12ක් වැනි කාලයක් තුළදී නැතිවී යයි. එසේ නැති වී ගිය පසු තමාට නැති වූ හෝ මිය ගිය පුද්ගලයා පිළිබඳ මතක සටහන් සමඟ අලුත් ජීවිතයක් පටන් ගනී. නමුත් මුළු ජීවිතයට කඩා වැටී අවුල් සහගත වී තවමත් එසේ නැතිවූ හෝ මිය ගිය පුද්ගලයා ගැන සිතමින් කාලය ගත කිරීම රෝගී ලක්ෂණයකි.
• මිය ගිය පුද්ගලයා පිළිබඳ නොයෙකුත් අසාමාන්‍ය භ්‍රාන්ති පෙනීම (Abnormal Hallucinations)
භ්‍රාන්තියක් යනු කිසිම සිද්ධියක් හෝ උත්තේජනයක් නොමැතිව නොයෙකුත් දේවල් පෙනීම ඇසීම හෝ දැනීමයි.
• මිය ගිය හෝ නැති වූ පුද්ගලයා පරිහරණය කළ හෝ කැමති දේවල් කිසිම වෙනසක් නොකර ඒ ආකාරයෙන්ම තබා ගැනීමට ඇති ආශාව (Protracted Mummification)
• ජීවිතය නතර කර ගැනීමට නිතර සිතුවිලි පහළ වීම (Suicidal Thoughts)
මෙහිදී නැති වූ හෝ මිය ගිය පුද්ගලයා නොමැතිව තමාට කිසිම ජීවිතයක් නැතැයි යන ආකල්පය සමඟ ජීවිතය නැති කර ගැනීමේ සිතුවිලිද ඇති වේ.
• මිය ගිය හෝ නැති වූ පුද්ගලයා එසේ නැති වූ ආකාරයටම තමාගේ මරණය සිදුවේ යැයි යන භීතිය (Acquiring Features of Death Person)
මෙම රෝගී තත්ත්වය හෙවත් කල්පවතින දුක ගැන
අපි නිදසුනක් ගෙන බලමු,
නිමානිගේ වයස අවු. 35යි ඇය ගුරුවරියකි. පවුලේ එකම දරුවාය. පියා ආයුර්වේද වෛද්‍යවරයෙකි. තවමත් විවාහ නොවී සිටින නිමානි පියා සහ මව සමඟ ජීවත් විය. නිමානි තම පියාට අතිශ්‍යයින්ම ආදරය කළාය. ඔහුගෙන් තොර ජීවිතයක් ඇයට නැති තරම්ය. පියාගේ වයස අවු. 70යි. ක්ෂණිකවම ඇති වුණු උදර පිළිකාවකින් මාස දෙකක් වැනි කාලයකදී නිමානිගේ පියා මිය ගියේය.
දැනට පිය මිය ගොස් වසර දෙකකි. පියාගේ මරණයත් සමඟ නිමානිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් විය. වෙනදා හොඳින් ගෙදර වැඩ කරගෙන ඉතා සාර්ථක ගුරුවරියක් ලෙස ජීවිතය ගෙවමින් සිටි නිමානිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් විය. ඇය මෙසේ පැවසුවාය.
“මට දැන් හරියට නරක හීන පේනවා. මගේ පියා යක්ෂයෙක් වගේ ඇඳගෙන ඇවිත් මගේ බෙල්ල මිරිකන්න එනවා වගේ මට නින්දෙන් දැනෙනවා. නින්දෙන් විතරක් නෙවෙයි සමහර වෙලාවට දවල් කාලෙටත් ඔහු ගෙදර සැරිසරන බව දැනෙනවා. ඔහුගේ කට හඬ මට ඇසෙනවා. ඔහුගේ ලෝකයට එන්න කියලා මට කියනවා.
ඔහු බෙහෙත් හේත් කරපු ඩිස්පෙන්සරි කාමරයට මම කාටවත් යන්න දෙන්නේ නෑ. ඒ බඩු ඒ බෙහෙත් තවමත් ඒ ආකාරයටම තියනවා. කාමරේ දූවිලි පිරිලා. කාමරේ අස්කරන්නේ නෑ කියලා අම්මා මට නිතරම බනිනවා. ඒත් මම කිසි කෙනකුට ඒ කාමරේට යන්න දෙන්නෙ නැහැ. මට මේ ළඟකදී ඉඳන් බඩේ අමාරුවක් හැදුනා. දැන් මාස 6ක් පමණ වෙනවා. වෛද්‍යවරු අට දෙනක් ළඟට විතර ගියා ඒ හැම Dr: කෙනෙක්ම කියන්නේ මගේ කිසිම ලෙඩක් නැහැ කියලා.
මගේ පියා මැරුණෙත් උදර පිළිකාවකින්. මට නිතරම හිතෙන්නේ ඔහුට වගේම මගේ බඩෙත් පිළිකාවක් තියනවා කියලා. ඉස්සර වගේ මට දැන් පාසලේ දරුවන්ට උගන්වන්නත් හිත දෙන්නේ නෑ. ජීවිතේ හරිම Dull ගතියක් තමයි මට නිතරම දැනෙන්නේ.”
මෙහි එන නිමානි කල් පවතින දුක හෙවත් (Chronic Grief) නැමති දුකෙන් පෙළෙන බව පේනවා. මෙසේ වන්නේ අපට ඇති වන විශාල කම්පනයක් මාස 6ක් හෝ 12ක් අතර නිසි ලෙස කලමණාකාරනය කර ගැනීමට නොහැකි වුවහොත්ය. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත්ය. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් පැහැදිලිවම ඔබ මනෝ වෛද්‍යවරයකු හමුවිය යුතුය. ඔබ විද්‍යාත්මක උපදේශනයට (Traumas Focus Therapy) යොමුවිය යුතුය.
පශ්චාත් ව්‍යසන ක්ලේමනය (Post – Traumatic Stress Discarders)
සාමාන්‍යයෙන් දැඩි කම්පනයකට හෝ ව්‍යසනයකට පසු විශාල භීතියක් (Fear) විශාල දුකක් (Grief) විශාල ආතතියක් (anxiety) වගේම හැඟීම් පාලනය කරගැනීමට නොහැකි (emotional dyers gelation) වැනි තත්ත්යන් ඔබට ඇති විය හැකිය. නමුත් ඔබගේ මානසික ශක්තීන් හා උපකාරක පරිසරය අනුව බොහෝ විට මාසයක් පමණ කාලයක් තුළ මෙම පීඩනය අවම වී යයි. එසේ නොවුණ හොත් දැඩි අගතියකට ඔබ ගොදුරු වී පශ්චාත් ව්‍යසන ක්ලෙමනය (P.T.S.D) නැමති තත්ත්වයට ගොදුරු විය හැකිය. මෙම තත්ත්වය එම කම්පනය ඇති වී අවු. 30ක් ඇතුළත ඕනෑම අවස්ථාවක ඔබට ඇති විය හැකිය. මෙහි ප්‍රධාන ලක්ෂණ 4කි.
1. ඇති වුණු කම්පනය සිතුවිලි සිහින ඡායාවන් හෝ චිත්‍රපටියක් ලෙස නැවත නැවත මතකයට පැමිණීම. මෙසේ පැමිණීම සමඟ ඔබ දැඩි භීතියට හෝ දැඩි සන්ත්‍රාපයට පැමිණිය හැකිය. (Re – experiencing framer)
2. ඒ හා සමාන සිද්ධිවලින් පලායාමට උත්සාහ කිරීම. මෙහිදී අදාළ සිද්ධියට සමාන ස්ථාන මඟහැරීම, එතනදී දුටු පුද්ගලයන් මඟහැරීම ඒ හා සමාන සිද්ධීන් මතකයෙන් ඈත් කර තැබීමට දරණ වෑයම. (Avoidance Symptoms)
3. අසාමාන්‍ය ලෙස මනස අවධි වීම. මෙහිදී නින්ද නොයාම, දැඩි ලෙස තරහා යාම, නොසන්සුන් බව, අධික ලෙස දහඩිය දැමීම, මනසට දැනෙන දැඩි ආතතිය සහ පීඩනය. (Sympathetic Arousal)
4. තමාගේ එදිනෙදා කටයුතු අසාර්ථක වී එදිනෙදා කටයුතු අඩාල වීම. මෙහිදී රැකියාවක් කරන පුද්ගලයකු රැකියාවට නොයෑම, නිසි ලෙස රැකියාව නොකිරීම, පාසල් දරුවෙකු නම් පාසල් නොයාම, අධ්‍යාපන කටයුතු අවුල් වීම. (Functional Deterioration)
පශ්චාත් ක්ලෙමනය ඇති වන ආකාරය අපි පුංචි කතාවක් ඇසුරෙන් බලමු.
කසුන්ගේ වයස අවු. 15යි. ඔහු කොළඹ පාසලක O/Lවලට සූදානම් වෙමින් සිටින අතර ඔහුගේ හැසිරීම්වල දක්නට ලැබෙන වෙනස්කම් නිසා කසුන්ගේ බාප්පා විසින් මෙම දරුවා අපට යොමු කළේය. කසුන් දැනට ජීවත් වන්නේ බාප්පා සමඟය. ඔහුගේ තාත්තා සහ අම්මා විරසක වී දික්කසාද වනවිට කසුන්ගේ වයස අවු.8කි. ඉන්පසු නිසි ලෙස කසුන්ව බලාගැනීමට කෙනකු නොමැති හෙයින් තාත්තා විසින් මෙම දරුවා බාප්පා වෙත බාර දෙන ලදි.
කසුන් දැනට පත්වී ඇති තත්ත්වය පිළිබඳ ඔහුගේ බාප්පා මෙසේ විස්තර කළේය.
“කසුන් ඉන්නේ දැන් හරිම බයෙන් රැට නිදා ගන්නවත් අඩුයි. සමහර දිනවල රැට නින්දෙන් බය වී කෑ ගහනවා. හරියට තරහා යනවා. තරහා ගියාට ගෙදර තියෙන බඩුත් පොළවේ ගහනවා. ඉතාම පුංචි දේකට පවා අසාමාන්‍ය ලෙස කලබල වෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා නිතරම පන්තියේ ළමයි සමඟ රණ්ඩු වෙනවා. මේ ළඟදී පන්තියේ ළමයෙකුට ගහලා පොලීසි පවා යන්න වුණා. විෂයන්ට ලකුණු හොඳටම අඩුයි. පොත්වල notes ලියාගෙන නෑ. ඉස්සර හිටපු හොඳ යාළුවන්ගෙන් ඈත් වෙලා. පන්තියේ ඉන්නවා සිගරට් බොන, කිසිම වැඩක් කරන් නැති ළමයි දෙන්නෙක්. ඔවුන් සමඟ එකතු වෙලා පන්ති නොගොස් දුම් බොන්නත් පුරුදු වෙලා කියලා ළඟදී මට ආරංචි වුණා.”
අපි කසුන්ගෙනුත් මේ ගැන විමසුවා. ඔහු මෙසේ කීවා. “මට දැන් මාස 6ක විතර ඉඳලා පරණ දේවල් මතක් වෙනවා. මතක් වෙනවා විතරක් නෙවෙයි ඒවා මහ වදයක් විදිහට සමහර විට චිත්‍රපටියක් විදිහට මැවිලා පේනවා. මගේ තාත්තා අම්මත් එක්ක රණ්ඩු වුණු විදිහ. අම්මට පහර දුන්න විදිහ අම්මා විලාප තියලා කෑ ගහපු විදිහ. චිත්‍රපටයක් විදියට මැවිලා පේනවා.
පන්තියේ ඉන්න කොටත් මේවා නිතරම මනසට එනවා. දැන් මට පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. හරියට තරහා යනවා. පිරිමින්ගෙන් පළිගන්න වගේ හැඟීමක් මට එනවා. මගේ තාත්තාගෙන් මට පළිගන්න ඕන වගේ හැඟීමක් හිතට එනවා. නිතරම වගේ භයානක හීන පේනවා. ඒ සිහිනවල අම්මා මැරිලා ඉන්නවා පේනවා. මට දැන් වැඩිය නින්ද යන්නෙත් නෑ. හිටි හැටියේ විශාල බයක් හිතට ඇවිත් එකපාරටම දාඩිය දාලා මනසත් ශරීරයත් දෙකම ලිහිල් වෙනවා වගේ දැනෙනවා.
අම්මගෙයි තාත්තගෙයි රණ්ඩු දැක්කෙ මම අවු. 8කට ඉස්සරලා. දැන් මට මේවා නැවතත් මැවිලා පේනනේ ඇයි ද? කියලා හිතාගන්නවත් බෑ. දැන් මම ඉන්නේ බාප්පත් එක්ක. බාප්පාගේ ගෙදර හරිම සාමකාමියි. මගේ සිතුවිලි මට බාප්පාට කියන්නත් බෑ. මට දැනෙන්නේ මම හරිම අසරණ වෙලා කියලා.”
මෙහි එන කසුන් P.T.S.D හෙවත් පශ්චාත් ක්ලෙමකයට ගොදුරු වී ඇති බව පෙනෙනවා. මෙම තත්ත්වය දිගටම තිබුණොත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් වී මානසික අවපීඩනය තත්ත්වයට ගොදුරු වී මුළු ජීවිතයම අවුල් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී මෙවැනි රෝගියකු මනෝ වෛද්‍යවරයකුට පෙන්වීම ඉතාමත් අවශ්‍යයි. වෛද්‍ය ප්‍රතිකාර සහ මනෝ උපදේශනය මෙම දරුවාට ඉතාම අවශ්‍යයි.
► කිරිබත්ගොඩ මූලික රෝහලේ
විශේෂඥ මනෝවෛද්‍ය

නයනානන්ද කුමාරනායක

http://www.deshaya.lk

විපත් පසුපස එන මතකේ මායාවන් විපත් පසුපස එන මතකේ මායාවන් Reviewed by CHAA MEDIA on May 25, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.