Seo Services

මෙරට දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනිය ගේ‍්‍රටා ජැනට් ද සිල්වා....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSxuIrRV3E_nCE4KcD7qisT4XUjamgPNeFOPR2gwZPd6uAUedAnXWLxzYGUik63ExKktZ8dY7bONYSgq3-vdUIWqpw_V4c4s5bnOqXMPRSAYPvyGkFdiipgMutwzmnXmUdqJsjJ9UGIWQ/s1600/janat444.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
”මුනි නන්දන සිරි පාද වදිම් සමනල කන්දේ’’, ‘‘දුල් සල්වනේ ළකල්’’ යන ගීත යුග්මය අද සමාජයේ වුවද නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. නමුත් මේ ගීත දෙකේ යටගියාව සලකා බැලූ විට මෙම ගීත දෙකම ග‍්‍රැමොෆෝන් තැටියට නඟන්නේ 1939 තරම් ඈත වකවානුවක ය. මෙම අතිශය ජනප‍්‍රිය ගීත දෙකම ගායනා කළ මුල් ගායිකාව තවමත් අප අතර සිටිනවා යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. ඇය අනූසත් (97* වියැති ගේ‍්‍රටා ජැනට් ද සිල්වාය. මේ ගීත කෝකිලාවිය පිළිබඳ තබන කෙටි සටහනක් මතු දැක්වේ.

 වර්ෂ 1923 මැයි මස 06 වැනි දින මීගමුවේ දී, උපත ලබන ගේ‍්‍රටා සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නියයි. මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරන ඈ කුඩා කල සිටම සුමධුර කට හඬකට හිමිකම් කීවා ය. පල්ලියේ ගීතිකා කණ්ඩායමේත්, නත්තල් කැරොල් ආදියේත් ගීත ගායනා කිරීමෙන් ජනප‍්‍රිය වූ ගේ‍්‍රටා යන්තමින් තුදුස් විය සපිරුණු විට පළමු ග‍්‍රැමෆෝන් තැටියට ගීතයක් ගායනා කළා ය. ඒ, එවකට තුබූ ”ලංකා ෆිල්ම් කොම්පැනි’’ ( ඛ්භණ් ත්‍ෂඛඵ ඣඵඡු්භශ* නම් වූ

 ලේබලය යටතේවූ ග‍්‍රැමෆෝන් තැටියකටය. විරිදු පන්තියක් තැටියේ එක පසෙකද, ”පානා මේ කුරුලන් ගේ නාදේ මන පිනවනවා’’ නම් ගීතය තැටියේ අනෙක් පසද ඇතුළත් වන ලෙස ඇය තැටියට ගැයුවාය. මේ ගීත මගින් ජනප‍්‍රියත්වයට පත් වූ ගේ‍්‍රටා එම තැටි සමාගමේ එවකට ගීත රචකයෙකු වූ යූ .ඞී. පෙරේරා මාස්ටර් යටතේ ගීත ගායනය තව දුරටත් පුහුණු වූවා ය.

 1939 වසරේ දී, යූ. ඞී. පෙරේරා ප‍්‍රමුඛ ගායක කණ්ඩායම කොළොම්බියා ලේබලය යටතේ ලියාපදිංචි වූ අතර එම ලේබලයේ ප‍්‍රධාන සංගීත අධ්‍යක්ෂ තනතුර මොහොමඞ් ගවුස් මාස්ටර් වෙත හිමි විය. සියලූම ගායක ගායිකාවෝ පස් අවුරුදු ගිවිසුමකට යටත්ව කොළොම්බියා සහ ්‍යඵඪ බල සඳහා ගිවිසුම් අත්සන් කළෝ ය. එවකට මීගමුවෙන් බිහිවූ ජනප‍්‍රියම සම වයසේ සිටි ගායිකාවන් දෙදෙනා වූයේ ගේ‍්‍රටා සහ රුක්මණී දේවී ය. රුක්මණී ්‍යඵඪ ලේබලය යටතේ ලියාපදිංචි වූ අතර, ගේ‍්‍රටා කොළොම්බියා ලේබලය යටතේ ලියාපදිංචි වූවා ය. මෙසේ ලියාපදිංචි වූ ගේ‍්‍රටා පළමු වරට කොළොම්බියා සමාගමේ ග‍්‍රැමෆෝන් තැටියක් සඳහා ගීත දෙකක් ගැයුවේ 1939 දෙසැම්බර මාසයේ ය. එම ගීත දෙක ඇය විසින් ගායනා කළ පළමු සහ එකම කිතුනු බැති ගී යුග්මය විය. මන්ද, උපතින් කිතුනු ලබ්ධික කාන්තාවක් වුවද, ඇයගේ ගීත ඉතිහාසයේ මුළුමනින්ම පාහේ හමුවන්නේ බොදු බැති ගී බැවිණි. මෙම යුග ගීය ඇය ගායනා කළේ එවකට ඉන්දියාවෙන් පැමිණි සිටි එක්තරා ඉස්ලාම් ලබ්ධික තරුණයෙකු සමගිනි. ඒ කවරෙකුත් නොව පසුකලෙක අතිශය ජනප‍්‍රිය වූ මොහිදීන් බෙග්ය. ”යුදෙහි රජු ය කියාලා’’ නම් ගීතය එක පසෙකත් ”ශ‍්‍රී තරු පායා’’ නම් ගීතය අනෙක් පසත් අතුළත් වීය. මෙම ගීත දෙක මොහිදීන් බෙග් මහතා විසින් ගැයූ එකම කිතුනු බැති ගී යුග්මය ද වන්නේ ය. ගීත දෙකම රචනා කළේ යූ. ඞී. පෙරේරා විසිනි. මේ ගීත වලින් ලද ප‍්‍රසිද්ධිය නිසාම, ගේ‍්‍රටා ගවුස් මාස්ටර් ගේ කණ්ඩායමේ නිත්‍ය ගායිකාවක බවට පත් වූවා ය. එවකට එහි ප‍්‍රධාන ගායිකාවන් වූයේ, සිසිලියානා ඩයස්, වයලට් වීරකෝන්, සහ කේ. කේ. රාජලක්ෂ්මි ය. මේ සියලූ දෙනාටම වඩා වයසින් බාල වූ ගේ‍්‍රටා ට මුල් කාලයේ ගායනා ස`දහා මුදල් ගෙවීමක් කළේ නැත. ඒ වෙනුවට කුඩා ගේ‍්‍රටා හට ලැබුණේ ටොෆි, චොකලට් වැනි තුටු පඬුරු ය. ඈ ඒවා ඉතා සතුටින් භාර ගත්තා ය. නොබෝ කලෙකින්ම ගේ‍්‍රටා ගවුස් මාස්ටර් ගේ සංගීත කණ්ඩායමේ ප‍්‍රධාන ගායිකාව වූවා ය.
janat222
 කවි (සීපද*, අර්ධ ශාස්ත‍්‍රීය ගී, සරල ගී, බයිලා, කපිරිඤ්ඤා, විරිදු, ගාථා ආදී සියල්ලක් අඩංගු නා නා මාදිලියේ ගායනා ඉදිරිපත් කිරීමට සමර්ථ වූ එකල සිටි එකම ගායිකාව මේ පසළොස් වියැති ගේ‍්‍රටාම වූවාය. එසේම ඇයගේ පුළුල් ස්වර පරාසය සහ ගතික ගායන විලාසය එකී ඕනෑම මාදිලියේ ගීතයක් ස`දහා ඉතා උචිත උපස්තරයක් ම විය. එබැවින් ඕනෑම මාදිලියේ ගීතයක් නිරායාසයෙන්ම ගායනා කිරීමේ නිසඟ හැකියාවක් කුඩා ගේ‍්‍රටා සතු වූවා ය. ගායකයාට හෝ ගායිකාවට සහ වාද්‍ය වෘන්දයට එක් මයික‍්‍රෆෝනයක් යොදා ගනිමින් අනේක විධ දුෂ්කරතා මධ්‍යයේ ගීත පටිගත කිරීම් කළ කාලයේ ගේ‍්‍රටා විසින් ඉදිරිපත් කළ ගීත ගායනා අතිශය ප‍්‍රශස්ත මට්ටමක පැවැතුණි. ඇයගේ සමූහ ගීත වලට එකල සහාය ගායිකාවන් ලෙස එකතු වූයේ සිරිමතී කරුණාදේවී (ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන ගේ මව* සහ වසන්තා (පසුව සන්දනායක* යන ගායිකාවෝ ය. වාද්‍ය වෘන්දයහි ඇයගේ ගීත ස`දහා වයලීනය වාදනය කළේ ඇල්බට් පෙරේරා නම් තරුණයා ය. ඒ අපගේ ගාන්ධර්ව ඩබ්. ඞී. අමරදේව සූරීන් ය. ගේ‍්‍රටා ගේ ගායනා වල සුගායනීය බව නිසාම, ඇය ගේ ප‍්‍රසිද්ධිය නොබෝ කලකින්ම මුළු ලක්දිවෙහිම පැතිර ගියේ ය. එවකට කොළොම්බියා ගීත පොත්වල ස`දහන් වූයේ ”දැනට මුළු ලක්දිවෙහිම ගීත කීමේ සමර්ථකම් පෙන්වන මීගමුවේ ගේ‍්‍රටා ජැනට් ද සිල්වා තරුණ නෝනා මහත්මියගේ නවතම ගීතයක්’’ ආදී වශයෙනි. එවකට ගායිකාවන් අතුරෙන් වැඩිම මුදලක් කොළොම්බියා සමාගම විසින් ගෙවන ලද්දේ ළාබාල ගේ‍්‍රටා වෙත ය. ඊට හේතුව වූයේ ගේ‍්‍රටා ගේ ගීත තැටි එකල වැඩි වශයෙන් අලෙවි වී වාර්තාගත ආදායමක් ලැබුණු බැවිනි.

 ගේ‍්‍රටා ගීත ගායනා කළේ වසර හයක් (1938-44* වැනි කෙටි කාලයක් පමණි . නමුත් ඇයගේ ගීත සියල්ලක්ම පාහේ අතිශය ජනප‍්‍රිය විය. ඇයගේ ගීත සමුච්චය අතුරින් කීපයක් මෙසේ විදහා දැක්විය හැකි ය. බෞද්ධාගමික ගීත ලෙස ”මුනි නන්දන සිරි පාද වදිම්’’ (සමන්ත කූඨ වර්ණනා* , ”දෙතිස් මහා පුරුෂ ලක්ෂණ’’ ( බුදු රදු ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සම්පූර්ණ වර්ණනාව* , ”බුද්ධං සරණේ’’(තුන් සරණය පිළිබඳ* , ”දුල් සල්වනේ ළකල්’’ (සිද්ධාර්ථ කුමාරෝත්පතිය- ස්ටැන්ලි මල්ලවාරච්චි සමග* , දේවාරාධනාවේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා සම්පූර්ණ ”බුදු සිරිත’’ තැටියේ එක් පසෙක බයිලා ලෙසද, අනෙක් පස කපිරිඤ්ඤා ලෙසද, (ස්ටැන්ලි මල්ලවාරච්චි සමග*, ”සුනිල්වන් අම්බරේ දිලෙනා’’ (මිහිදු හිමියන් ගැන*, ”සංසාරේ හී දෝෂ දැනීල’’ (දාන පාරමිතාව ගැන*, ”පතමු නිර්වාණේ’’ (සොළොස්මස්ථාන වර්ණනා* ආදිය ද, දේශාභිමානී ගීත ලෙස ”මෙමගේ ජන්ම භූමී’’, ”පෑවෝ ජය කෙහෙළී’’ (අතීත ශ‍්‍රී විභූතිය ගැන*, ”කීර්තිමාලාලංකාර’’ (පළමු විජයබාහු රජතුමා ගැන*, ”අහෝ නාස්ති වේ’’ (තත්කාලීන සමාජ පරිහානිය ගැන* වැනි ගීත ද, ”ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති කෙරේ’’ සහ ”දුල් මල්ලිකා කුසුම්’’ වැනි උද්‍යාන සහ සැන්දෑ වැණුම් ඇතුළත් ගීත ද,”නෑයෝ වාසි තැනේදී’’ වැනි විනෝදාස්වාදක ගීත ද, ”ලොව රකිනා මුරු සුපසන්’’, ”දොයි දොයි පුතුනේ’’ වැනි දරු නැළවිලි ගීත ද, නිදර්ශන ලෙස දැක්විය හැකි ය. මෙම ගීත සියල්ලක් ම ගේ‍්‍රටා වෙත රචනා කළේ යූ. ඞී. පෙරේරා මාස්ටර් විසිනි. මීට අමතරව සිය බාල සොයුරිය වූ සෙල්සියා ද සිල්වා බාලිකාව සහ ස්ටැන්ලි මල්ලවාරච්චි සමග ගැයූ ”පුංචි නංගි එයි දැන් තාත්තා අපේ’’ සහ ‘‘ආලේ පානා අක්කේ’’ යන මාතෘ- පිතෘ වන්දනාත්මක ළමා ගීත දෙක, සී. වීරසේකරයන් විසින් රචනා කරන ලදුව 1941 වසරේදී ගේ‍්‍රටා විසින් පටිගත කළා ය. මෙම ගීත අදටත් කලාතුරකින් හෝ ගුවන්විදුලියෙන් අසන්නට ලැබේ. එවකට ්‍යඵඪ සහ කොළොම්බියා තැටි ලේබල අතර පැවති තරගයේදී ජනප‍්‍රිය හින්දි හෝ බෙංගාලි තනු වලට නිපදවූ සිංහල ගීත අතුරින් ්‍යඵඪ සමාගමේ ජනප‍්‍රියම තාරකාව රුක්මණී දේවියගේ ගීතයක් නිකුත් කරන විට, එයට තරඟ වදින්නට එම තනුවටම කොළොම්බියා සමාගමෙන් ගීත ඉදිරිපත් කළේ ගේ‍්‍රටා ගේ ස්වරයෙනි. එසේම මීගමුවේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ මිනර්වා නෘත්‍ය කණ්ඩායමේ ආරම්භකම නිළියක වූයේ ද ගේ‍්‍රටා ය. එම හැඳුනුම්කමද ඇතිව, 1940 - 42 කාලය තුළ කොළොම්බියා සමාගමේ ලියාපදිංචි

 ගායකයෙක් වූ එඞී. ජයමාන්න ගේ බයිලා සහ කපිරිඤ්ඤා ගීත සියල්ලකම පාහේ සහාය ගායිකාව වූයේ ගේ‍්‍රටා ය. රුක්මණී දේවී ්‍යඵඪ සමාගමේ ලියාපදිංචිව සිටි බැවින් එඞී සමග කිසිදු යුග ගීතයක් ග‍්‍රැමෆෝන් යුගයේ රුක්මණී වෙත පටිගත කිරීමට අවකාශය නොලැබුණි. එඞී සහ ගේ‍්‍රටා ගැයූ කපිරිඤ්ඤා එවකට අතිශය ජනප‍්‍රිය විය . ඒ අතුරින් ”සිරිලක සිරි හීන වෙනවා’’ (නොහොත් නැන්දම්මාගේ ආදරේ*, ”පියා නොදැනීම’’, ”කානිවල්’’, ”අලූත් තාලේ පිංකම්” ආදී වූ ගීතද, සිය සොයුරිය වූ සෙල්සියා සමගින් ගැයූ ‘‘දැන් කාලේ ළමිස්සියෝ බයිලා කියනවා - මිරිස් හොද්ද උයන්න බැහැ ලූණු වැඩි වෙනවා’’ යන බයිලා ගීතය ද, එවක අතිශයින් ජනප‍්‍රිය ගීත විය. ග‍්‍රැමෆෝන් ගායිකාවක ලෙස කපිරිඤ්ඤා ගීත මුල්වරට ගායනා කරනු ලැබුවේ ද, ගේ‍්‍රටා විසිනි.

 එකුන් විසි වැනි විය යන්තමින් සපිරෙද්දී , නීතිඥ ලූකස් හෙන්රි රණසිංහ සමග විවාහ වන ගේ‍්‍රටා සිය ගායන දිවියට නැවතුම තබන්නේ ඇයගේ ජනප‍්‍රියත්වයේ හිණි පෙත්තෙහිම සිටින විට ය. ඒ ස්වකීය ස්වාමිපුරුෂයා හට දුන් පොරොන්දුව ඉටු කිරීමට ය. ගේ‍්‍රටා අවසන් වරට පටිගත කළේ , දොයි දොයි පුතුනේ’’ ගීතය යි. ඒ සිය කුලූදුල් දරුවා වූ පාලිත ද කරපින්නාගෙන බව ඇය අප සමග සඳහන් කළා ය. ඉන් පසු ඇය කිසිදු මාධ්‍යයක් ඉදිරියේ පෙනී සිටියේ ද, ගීත ගායනා කළේ ද නැත. ඇය අපට හමු වූ දිනයේදී දශක හතකට ආසන්න මතකයක් අවදි කරමින්, ” දොයි දොයි පුතුනේ’’ ගීතයත්, ”මුනි නන්දන සිරි පාද වදිම්’’ ගීතයත් නැවත ගායනා කළා ය.

 ගේ‍්‍රටා - ලූකස් කුටුම්භයෙහි දරුවන් පස් දෙනෙකි. ඒ පාලිත, මල්සිරි, රන්ජිත්, රෝහණ සහ සුජීවා ය. රන්ජිත් සහ රෝහණ පුතුන් අද ජීවතුන් අතර නොමැත. ඔවුනගේ දරුවන් එනම්, මුණුබුරු -මිණිබිරියන් මෙන්ම , මී මුණුබුරු -මිණිබිරියන් දැකීමට තරම් ඇය භාග්‍යවන්තියක වන්නී ය. දැනට මීගමුවේ සිය මහගෙදර සැඳෑ සමය විවේකීව ගත කරන මේ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනිය අතීතයේ ඇතැම් කරුණු අප සමග ගෞරවයෙන් සිහිපත් කළා ය. ගවුස් මාස්ටර් සහ යූ. ඞී.පෙරේරා මාස්ටර් ”ඒ මගේ මාස්ටර් ලා’’ ලෙස ඉතා ගෞරව සම්ප‍්‍රයුක්තව සිහිපත් කළා ය. ස්වකීය සුමධුර ස්වරයෙන් රසික සිත් පිනැවූ ගේ‍්‍රටා ජැනට් ද සිල්වා ශිල්පිනිය ඉතා තරුණ කාලයේදීම ගීත ක්ෂේත‍්‍රයෙන් ඉවත්වීමත්, කාලයත් සමග ඇයගේ නාමය සියලූ මාධ්‍ය වලින් අමතක වී යෑම සිදුවුවත්, මෙයින් දශක අටකට පමණ ඉහත සිංහල සංගීතය ක්ෂේත‍්‍රය වෙත දායාද කළ බොහෝ ගීත තවමත් නව පරපුරේ ගායක ගායිකාවන් විසින් ගායනා කරනු අදටත් අසන්නට ලැබීම සතුටට කරුණකි. නමුත් මේ ගීතවල මුල් හිමිකාරිය වන ගේ‍්‍රටා ජැනට් ද සිල්වා තවමත් ජීවතුන් අතර සිටින බව බොහෝ දෙනා නොදනිති. එබැවින්, මේ කෙටි ලිපිය ඇය විසින් මෙරට යටත් විජිත සමයේ සිංහල සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කිරීමට ගත් ප‍්‍රයත්නය වෙනුවෙන් පිදෙන උපහාරයකි. මෙරට සංගීතයේ ”ජාතික වස්තුවක්’’ වන ඇයට, චිරජීවනය, සහ නිදුක් නිරෝගී භාවය පතමු.

 ඉසුරු උදයංග කාරියවසම්
 (විශේෂ ස්තුතිය : නදීකා රණසිංහ , වෛද්‍ය හේමන්ත පෙරේරා සහ වසන්තා පෙරේරා *


උපුටා ගැනීම - දිවයින
http://divaina.com/daily/index.php/visheshanga3/28810-24-21
මෙරට දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනිය ගේ‍්‍රටා ජැනට් ද සිල්වා.... මෙරට දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනිය ගේ‍්‍රටා ජැනට් ද සිල්වා.... Reviewed by CHAA MEDIA on May 30, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.