Seo Services

මරක්කල - මුස්ලිම් - යෝනක - ඉස්ලාම් ලංකාවට ආ හැටි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLhe5kcSyVUID6cWUIOfFjgSR0X2hCug6ptnM3rvBtcrmH2E3O_VgQEwg9BrQc1j3dQYj6kRAwVoirjnrbXRXjwauBFK_1spzr4QIRTBJiJN-KCdrt1HIttrWTUE9S7PauzCVdi1_cHpU/s1600/image_0621c1f195.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXdlnvLzU2xKZla-9aXOduX8kT_b0Bv9aAmdDxvhyRCPgwKLp6zTPU0Oh9q51vsv9RqHt6EzvQBOmcJEgTOq4u5SKpE_yPVoIIDNVas3JHeatwrOX2LcUk9HekeGW9Wujr4oFWQ-T9ZgBR/s1600/fblink.gif 
කාලීද් අබ්දුල් මාලික්බින් මාරිවාන් අරාබිය පාලනය කළ 7 වැනි සියවස ජනතාවට අපල කාලයක් විය. බොහෝ අරාබි ජාතිකයෝ කාලීද් අබ්දුල්ගේ ම්ලේච්ඡ පාලනයෙන් ජීවිත ගලවා ගැනීමට රටින් පලා ගියහ. ජනප්‍රවාද පවසන්නේ හත්වැනි ශත වර්ෂයේදී නැව් හතරක් සුල්තාන්වරැන් තිදෙනෙක් රැගෙන යේමනයේ සිට පිටත් වූ බවයි. සුල්තාන් බදුර්දීන්, සුල්තාන් සලාහුදීන්, සුල්තාන් සදුර්දීන් එම අය වූහ. මේ පිරිසෙන් සුල්තාන් සදුර්දීන් ගොඩබැස්සේ බේරුවලටයි. මේ සුල්තාන් ඇතුළු පිරිස වෙරළේ සිට නගරයට සේන්දු වූ පාරට අදටත් කියන්නේ අරාබි පාර කියලයි.
“මුස්ලිම් ජනතාව මුලින්ම ලංකාවට ආවේ වෙළෙඳාම අරමුණු කරගෙනයි. එදා ඉඳන් අද දක්වාම මුස්ලිම් අය ව්‍යාපාරවලට ප්‍රමුඛත්වය දෙනවා. බර බරේ කියන නම තමයි පසුව බේරුවල බවට පත්වුණේ. ලංකාවේ පැරණිම මුස්ලිම් පල්ලිය තියෙන්නෙත් බේරුවල. ඒක පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන්ද ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. කරුණාසේන කොඩිතුවක්කු ඇමැතිතුමා සංස්කෘතික සහ අධ්‍යාපන ඇමැති වශයෙන් හිටි කාලෙ තමයි එහෙම ප්‍රකාශයට පත් කළේ. බේරුවලට මුස්ලිම්වරු ගොඩබැස්සට පසු වෙළෙඳ කටයුතු සඳහා විවිධ පළාත්වලට ගියා. යුරෝපීය පාලනය පැවති කාලේ මුස්ලිම්වරුන්ට විවිධ තර්ජන ඇතිවුණා.” අප සමඟ එලෙස පැවසුවේ මුස්ලිම් ඉතිහාසය පිළිබඳ පෘථුල දැනුමක් සහිත ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදී එන්.එම්. අමීන්ය. මුස්ලිම්වරුන්ට සමහර පළාත්වල කියන්නේ මරක්කල කියලාය.
“පඟරගම්මන කියලා මහියංගණයට කිට්ටුව මුස්ලිම් ගම්මානයක් තිබෙනවා. සිංහල රජතුමා පෘතුගීසීන් සමඟ සටන් කර බේරීමට පලායන අවස්ථාවක මේ ගමේ මුස්ලිම් කාන්තාවන් එළදෙනකගෙන් කිරි දොවමින් සිටියා. රජ්ජුරුවෝ කොස් ගසක බෙනේක හැංගෙනවා මේ කාන්තාව දැක්කා. රජු ලුහුබැඳගෙන ආපු සතුරෝ කාන්තාවගෙන් රජු ගැන ඇසුවත් ඇය රජු පාවා දෙන්නේ නැහැ. ඉන් කෝපයට පත් සතුරන් මුස්ලිම් කාන්තාව මරලා දැම්මා. රජු පසුව පිටතට විත් බැලුවාම කාන්තාව ලේ පෙරාගෙන වැටී සිටිනු දුටුවා. ‘මා රුකි ලේ’ කියලා ඔහු කිව්වාලු. පසුව ‘මරක්කල’ යන හැඳින්වීම ආවේ එහෙමලු” අමීන් තවදුරටත් කීවේය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgp9UxED2aQ5R2xFN3lrc-XOpqJMZuayxTYZwcuOhScJTzwkasApgvrhG4XKHS8RQbI3r64byuFkc-evyCkVh_lN4fnOuuODy_vX9VV8H-anG5r0WoWOAT1vYlvaYTFx7n6woi3KjdPehw/s1600/image_5d5592569c.jpg
“වෙදකමටත් මුස්ලිම් අය ලංකාවට ආවා. අපේ ගම අරණායක. මගෙ පරම්පරාවේ වාසගම වෛද්‍යතිලක මුහන්දිරම්ලාගේ ගෝපාල මුදියන්සේගේ කියනා එකයි. ඒ වාසගම ලැබුණේ උඩරට රාජධානිය කාලේ රජ්ජුරුවන්ට වෙදකම් කිරීම නිසයි. උඩුනුවර වගේම අවිස්සාවේල්ල තල්දූවෙත් මුස්ලිම් වෙද පරම්පරා ජීවත් වෙනවා. මගේ උප්පැන්නෙත් තියෙන්නේ සිංහල වාසගම. නමුත් අපි ඒක දිගවැඩියි කියලා අපේ දරුවන්ට දුන්නෙ නෑ.” අමීන් පැවසූ වෙද පරම්පරාවල ඉතිහාසය සම්බන්ධ අපූරු ජනකතාවක් මට මතක් විය.
මුස්ලිම් වෛද්‍යවරුන්ගේ කීර්තිය ගැන මහනුවර රජතුමාට දැනගන්නට ලැබී තිබුණි. රජ බිසවට වැළඳී තිබුණු උදර රෝගයට ප්‍රතිකාර කිරීමට මුස්ලිම් වෛද්‍යවරයෙක් මහනුවරට ගෙන්වා ගැනිණි. රජු වෛද්‍යවරයාගේ හැකියාව පරීක්ෂා කිරීමට උපක්‍රමයක් යෙදුවේය.
වෛද්‍යවරයාට නොපෙනෙන පරිදි රෝගී බිසව තැබුවේය. බිසවගේ අත අල්ලා නාඩි බලනු වෙනුවට නූලක් අතේ බැඳ නාඩි බාලිය හැකි බව වෛද්‍යවරයා පැවසුවේය. අතේ වෙනුවට නූලේ කෙළවර දොර පොල්ලක බැඳ තැබීය. වෛද්‍යවරයා නූල අල්ලා බලා කීවේ රෝගියා පණ ඇති කෙනෙක් විය නොහැකි බවයි. ඊට පසු නූල බල්ලෙකුගේ කකුලක බඳින ලදී. “මේ නම් තිරිසනෙක්” වෛද්‍යවරයා කීවේය. පසුව නූල බිසවගේ අතේ බඳින ලදී. වෛද්‍යවරයා නූල පරීක්ෂා කර බිසවට මජර රෝගය වැළඳී තිබෙන බවත්, එය සුවකළ හැකි බවත් පැවසුවේය. ප්‍රතිකාරවලින් බිසව සුවපත් වූවාය. රජු බොහෝ සතුටට පත්ව “වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලි” නමැති පටබැඳි නාමය සමඟ බේත්ගේ මුහන්දිරම් තනතුර පිරිනැමුවේය. කෑගල්ල, පරණකුරු කෝරළේ ගොඩිගමුව, ගැවිලිපිටිය, දුම්බර ගහලංගොඩ, බෝපිටිතැන්න සහ මාතලේ ඉනිගල, යටිනුවර මොලදණ්ඩ, මාලගම්මන යන නින්දගම්ද ප්‍රදානය කළේය. අප මුලින්ම කතාබහ කළ අමීන් ද පැවත එන්නේ ඒ වෙද පරපුරෙන් වුවත් ඔහු නම් බේත් පෙට්ටිය වෙනුවට පෑන අතට ගෙන දක්ෂකම් දක්වයි.
බේරුවල මරදානේ මස්ජිදුල් අබ්‍රාර් පල්ලිය අද නවීකරණය වී ඇතත් මෙරට මුස්ලිම් ආගමනයට ප්‍රබල සාක්ෂියක් සපයන නිහඬ ස්මාරකයකි. මෙය සුල්තාන් සදුර්දීන් විසින් මුලින්ම ඉදිකරවූ බව විශ්වාස කෙරේ. පිංහේන සහ බේරුවලදී පල්ලි ඉදිකළත් ඒවා පසුව අභාවයට ගොස් තිබේ. එදා මරදානේ පල්ලිය හැදීමට පස් ලබාගත් ස්ථානය අද විශාල පොකුණකි. එය අද මුස්ලිම් ළමුන්ගේ පිහිනුම් තටාකයක් ලෙස සංවර්ධනය කර තිබේ. සිංහල කාන්තාවන් විවාහ කරගත් මුස්ලිම්වරු පසුව සිංහල ලකුණු මකාදමා මුස්ලිම් ලකුණට මුල්තැන දී තිබේ. මුස්ලිම් හෙවත් යෝනක ජනතාවට සිංහල රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුහු බේරුවල අවට මෙන්ම කොළඹ, පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනය, ගාල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචි වූහ. මඩකලපුව, පොතුවිල්, අම්පාර වැනි නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම්වරුන්ට පදිංචිවීමට ඉඩකඩ සලසා දී ඇත්තේ උඩරට පාලනය කළ සෙනරත් (1604-1635) රජුය. වෙළෙඳමෙන් සිංහල රජුන්ට බදු ගෙවූ ඔවුහු ක්‍රමයෙන් ආර්ථිකයට බලපෑමක් කළ හැකි පිරිසක් බවට පත්වූහ.
කුරුණෑගල රාජධානි යුගයේදී පළමුවන බුවනෙකබාහු (1275-1283) රජු බේරුවල ප්‍රදේශයේ යෝනක කාන්තාවක් විවාහ කරගත් අතර ඇයට උපන් පුත්‍රයා වූ වත්හිම් කුමරු පසුව දෙවැනි බුවනෙකබාහු නමින් රජවුවද ඔහුගේ බෞද්ධ විරෝධී පිළිවෙත් නිසා කුමන්ත්‍රණයකින් මරණයට පත් කරවීය. ඔහු ඇතුගලින් පාමුලට වැටී මරණයට පත්වූ බව පැවසේ.
16-17 වැනි ශතවර්ෂවලදී පෘතුගීසි ලිපි ලේඛනවල මුස්ලිම් ජාතිකයන් හඳුන්වා ඇත්තේ Mouros යනුවෙනි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ පිරිස Mouris Naturais  නොහොත් ‘මරක්කල’ ලෙස හැඳින්විණි. තවත් කණ්ඩායමක් ඒ කාලයේ බෝට්ටු හා යාත්‍රාවලින් නැව් පැදවීමට සුදුසු කාලයේදී ලංකාවට පැමිණියහ. දිවයිනේ මාස කිහිපයක් රැඳී සිට වෙළෙඳාම් කර පසුව පිටත්ව ගියහ. මේ කාලය තුළදී ඔවුන් ව්‍යාපාරික සබඳතා ඇතිකර ගැනීම, මිතුරන් ඇතිකර ගැනීම, සමහරුන්ට විවාහ වී දරුවන් ඇති දැඩි කිරීමද සිදුවිය. ලන්දේසි හා බ්‍රිතාන්‍ය ලිපි ලේඛනවල මෙම පිරිස ‘කෝසට් මුවර්’ ලෙස හඳුන්වා ඇත. සිංහල ජනතාව මොවුන් ‘හම්බයෝ’ යන නමින් හැඳින්වීය. හම්බන්තොට යන නමද ඒ නිසා ඇතිවූ බව පැවසේ. ‘හම්බන්’ නමැති බෝට්ටු වර්ගයේ පැමිණීම හේතුවෙන් ඒ නම ලැබුණි. පසුගිය සියවසේ මැදභාගය දක්වාම මෙලෙස මාලදිවයිනේ සිට බෝට්ටුවලින් පැමිණ ගාල්ල, හම්බන්තොට වැනි ප්‍රදේශවල වෙළෙඳාම් කිරීම සිදුවිය.
මුස්ලිම් ජනතාව 16-17 වැනි සියවස්වල බහුල ලෙස මෙරටට පැමිණ පදිංචි වූ අතර මේ නිසා අප රටේ මුස්ලිම් ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. පෘතුගීසි තෝම්බුවල සඳහන් ආකාරයට මෙම කාලසීමාවේදී සැලකිය යුතු මුස්ලිම් ජනතාවක් පුත්තලම, හලාවත, මාදම්පේ, කොළඹ, කළුතර, බේරැවල, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම, මාතර හා බටහිර වෙරළ තීරයේ ව්‍යාප්ත වී සිටියේය.
ඉංග්‍රීසි යටත්විජිත සටනේදී සිංහල ජනතාව සමඟ මුස්ලිම් ජනතාව බිඳවීමට අධිරාජ්‍යවාදී පාලකයෝ කටයුතු කළහ. ඒ ඌව වෙල්ලස්ස පාලනයට හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් ජාතිකයකු පත් කිරීමයි. එයට එරෙහිව රාජධානිය පුරා කැරලි හටගත් අතර 1818 කැරැල්ලට මඟපෑදූ එක් හේතුවක් වූයේද එයයි. මේ නිසා මුස්ලිම් හා සිංහල ජාතීන් අතර එදිරිවාදිකමක් හට ගත්තේය. එය ක්‍රමයෙන් රටපුරා ඇවිල ගියේය. 1915 සිංහල මුස්ලිම් කෝලාහලය නිසා යළිත් වරක් රටපුරාම මුස්ලිම් විරෝධයක් හට ගත්තේය. එයට හේතුවූයේද මහනුවර බෞද්ධ පෙරහරක් මුස්ලිම් පල්ලියක් අසලින් යාමේදී ගල්මුල් ප්‍රහාරයක් එල්ලවීමයි. මේ අවස්ථාවේදී සුද්දෝ ජාතීන් දෙක බෙදෙන ආකාරයෙන් පරිපාලනය මෙහෙය වූ බව පෙනේ.
කෙසේ වුවත් උගත් මුස්ලිම් ජාතිකයෝ 1948 නිදහස ලබාගැනීමට සිංහල හා දෙමළ නායකයන් සමඟ එකට සිටගත්තෝය. සිද්ධි ලෙබ්බේ, ටී.බී. ජයා වැනි නායකයන් එහිදී කැපී පෙනෙන මෙහෙවරක් කළහ.
කුසුම්සිරි විජයවර්ධන
උපුටා ගත්තේ
http://www.deshaya.lk
මරක්කල - මුස්ලිම් - යෝනක - ඉස්ලාම් ලංකාවට ආ හැටි මරක්කල - මුස්ලිම් - යෝනක - ඉස්ලාම් ලංකාවට ආ හැටි Reviewed by CHAA MEDIA on May 18, 2019 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.