උද්භිද විද්‍යාත්මක නාමයෙන් Abelmoschus moschatus ලෙස හඳුන්වන
කපුකිණිස්ස ශාකය malvaceae කුලයට අයත් ශාකයකි. මෙය සංස්කෘත නාමයෙන් ලතා
කස්තුරි යනුවෙන් හඳුන්වයි. ලතා කස්තුරි යනු වැල්වල හැදෙන කස්තුරි යන්නයි.
ආයුර්වේදයේ එන ඉහළ ගුණ සහිත කස්තුරි වෙනුවට කපුකිණිස්ස භාවිත කිරීමෙන්ම
එහි ගුණ අපට වටහා ගත හැක.
කපුකිණිස්ස ශාකය අඩි 1 1/2 පමණ උසට වැඩෙන ශාකයකි. එහි බණ්ඩක්කා මෙන් කරල්
හට ගනී. මෙම ශාකය හඳුනා ගැනීමට පහසුය. මෙහි කඳෙහි බණ්ඩක්කා ගසේ මෙන්ම රෝම
ඇත. කපුකිණිස්ස ඇටවල සුගන්ධවත් ෙසෙල ඇත. මේවා පොඩිකළ විට කස්තුරි සුවඳට
සමාන සුවඳක් ඇතිවේ. ඝර්ම කලාපීය ප‍්‍රදේශවල බොහෝ ලෙස වැඩෙනා කපුකිණිස්ස
ඇට සැපීමෙන් මුඛයෙහි දුර්ගන්ධය නැතිවේ. මේ හෙයින් අතීතයේදී ආයුර්වේදීය
බුලත් විට සඳහා කපුකිණිස්ස ඇට යොදාගෙන ඇත. එමගින් කට සුවඳ කිරීමට මෙන්ම මුඛ
රෝග රැසක් නැසීමටද හැකියාව ලැබී ඇත.කපුකිණිස්ස ශාකයෙහි කොළ මුල් දලූ ගෙඩි ඖෂධ සඳහා යොදා ගනී. එහෙත් ඖෂධ සඳහා බහුලවම යොදාගනු ලබන්නේ හො`දින් මේරූ කපුකිණිස්ස කරල් වේලා ලබාගත් ඇටයි. දේශීය චිකිත්සාවේ එන විෂ වේදකමටද කපුකිණිස්ස යොදාගනී. කපුකිණිස්ස ඇට අඹරා මද්‍යසාර සමග දියකර ආලේප කිරීමට යොදා ගන්නා අතර පාරම්පරික විෂ වෛද්‍යවරුනගේ නිවෙස්වල කපුකිණිස්ස පඳුරු කීපයක් ඕනෑම මොහොතක දැක ගත හැක.
බහුවිධ ගුණයෙන් යුතු කපුකිණිස්ස සර්වාංග වෙදකමේදීද සුලභව යොදා ගනී. ඖෂධ ලෙස ගැනීමට අමතරව පාන වර්ග ලෙසද කපුකිණිස්ස භාවිත කරනු දැක ගත හැක. ආහාර මාර්ගයේ ඇතිවන රෝග සුව කරගැනීමට උපකාරී වේ. කපුකිණිස්ස ඇට කුඩුකර කෝපි ලෙස පානය කිරීම ඊට හොඳ උදාහරණයකි. ආහාර මාර්ගය ශක්තිමත් වීමටද කපුකිණිස්ස ඇට පානය කිරීම හේතු වෙයි.
අක්ෂි රෝග සුවකිරීමට ද ආයුර්වේදයේදී කපුකිණිස්ස ඇට චූර්ණය යොදා ගනී. කපුකිණිස්ස ශාකයෙහි කොළ සහ මුල් ආහාර අරුචිය අතීසාරය හෘදරෝග මුත‍්‍රා අඩස්සිය කැස්ස ඇදුම වැනි රෝග සුවපත් කිරීම සඳහා ඖෂධ ලෙස භාවිත කරනු ලබයි. මේ සියල්ලට අමතරව කපුකිණිස්ස ව්‍යාංජනයක් ලෙසද ගැමි සමාජයේ ජනප‍්‍රියය. මෙහි ළපටි කරල් බණ්ඩක්කා මෙන් රසවත් ලෙස පිළියෙල කරගෙන ආහාරයට එක්කර ගත හැක. මෙහි වැදගත් බව තවත් වැඩි වනුයේ නව්‍ය පර්යේෂණ අනුව කපුකිණිස්ස දියවැඩියා රෝගයට සුදුසු බවද සොයා ගැනීම නිසාය.
කපුකිණිස්ස ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීමෙන් එහි ඇති එන්සයිම කි‍්‍රයාකාරීත්වය නිසා ඉන්සියුලින් ස‍්‍රාවය කිරීම උත්තේජනය කරන අතර එමගින් දියවැඩියාව පාලනය කරගත හැක. අතීතයේ ජන විශ්වාසයේ තිබූ මෙම තොරතුරු අද වනවිට පර්යේෂණ මගින් තහවුරුව ඇත. කපුකිණිස්ස ඇටවල අන්තර්ගත සුගන්ධවත් ෙසෙල හේතුවෙන් ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීමටද ප‍්‍රයෝජනවත් වේ. වඩාත් මෑතකදී තහවුරු වූ කරුණ වනුයේ කපුකිණිස්ස මිනිස් හෘදයට ගුණදාායී බවයි.
දිනෙන් දින තහවුරු වන කපුකිණිස්ස ගහේ ගුණ නිසා නූතන විද්‍යානුකූලව එ් පිළිබඳ සිදුකරනා පර්යේෂණ දිනපතා ඉහළ යයි. එ් යටතේ කපුකිණිස්ස ශාකයෙහි ප‍්‍රතිඔක්සිකාරක ගුණය පිළිබඳවද විවිධාකාරයේ පර්යේෂණ සිදුකර ඇත. ඒ පරීක්‍ෂණවලින් මෙහි පිළිිකා වළක්වන ගුණයක් ඇති බවටද මෑතකදී තහවුරු කර ඇත. එමෙන්ම මුත‍්‍රා ඛණ්ඩක (අහිතකර ආහාර ආහාරයට ගැනීමෙන් ශරීරයේ නිෂ්පාදනය වන පටකවලට හානිකර යම්යම් රසායනිකයන්) මර්දනය කිරීමේ ගුණයක්ද මෙහි ඇති බවට සොයාගෙන ඇත. එමෙන්ම විවිධ රෝගකාරක ශුද්‍රජීවීන් විනාශ කිරීමට කපුකිණිස්සවලට හැකි බවටද වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ඇත. එමෙන්ම ශරීරය වියපත් වීම හේතුවෙන් ශරීරයේ පටකවල ගෙවී යාම හා පටක හානි වීම ප‍්‍රතිසංස්කරණය කොට යෞවන බව ආරක්‍ෂා කිරීමේ හැකියාවක් ඇති බවටද විද්‍යාත්මකව සොයාගෙන ඇත.
මෙම ශාකයෙහි කොළ සහ දලූ ආහාරයට ගැනීම පිළිබඳ ලෝකයේ වෙනත් රටවලින්ද වාර්තා වේ.
මේවා ආහාරයට ගැනීමෙන් මාංශ පේශීන් ලිහිල් කිරිමේ හැකියාවක්ද ඇතිවේ . එමෙන්ම ලිංගිකව සම්පේ‍්‍රෂණය වන ගොනෝරියාව වැනි රෝග සුවපත් කිරීමට කපුකිණිස්ස ශාකයට හැකිබව පොත්පත්වල සඳහන් වේ. මේවා ආයුර්වේදයේදී කස්තුරි වෙනුවට භාවිත කරන හෙයින් යම් යම් රූපලාවන්‍ය ආලේපන හා සුවඳ විලවුන් වර්ග නිෂ්පාදනය සඳහා කස්තුරි ඇටවල සුගන්ධකාරක ද්‍රව්‍ය යොදා යම් යම් නිෂ්පාදන සිදුකරයි. එමෙන්ම මුඛ ශෝධන නිෂ්පාදනය සඳහා ද භාවිත කරයි.
කපුකිණිස්ස බීජ මගින් බෝකරගත හැකි ශාකයකි.මෙම පැළ හටගැනීමෙන් පසු මාස හතරකින් පමණ කරල් අස්වැන්න ද නෙළා ගත හැකිය.
චමිලා අල්විස්
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
දියවැඩියාව, හෘද රෝග, පිළිකා නසන කපුකිණිස්ස
Reviewed by CHAA MEDIA
on
February 10, 2019
Rating:
No comments: